මූලික අයිතිවාසිකම් කඹුරුපිටියෙන්...

Kamburupitiya
By Thaya Mar 01, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

කඹුරුපිටියේ අනාගතය වෙනුවෙන්වන දස මහා යෝධ අභිලාශයන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වසර අවසන් වීමට ප්‍රථම කඹුරුපිටියේ සෑම පුරවැසියෙකුටම ජාතික හැදුනුම්පතක්, උප්පැන්න සහතිකයක් ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ විදුලිය, පිරිසිදු පානීය ජලය ගැටළුව තවදුරටත් ගැටලුවක් නොවිමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එළඹෙන අප්‍රේල් මස වනවිට විදුලිය නොමැති සියලු නිවාස වලට විදුලිය ලබාදෙන අතරම පානීය ජල ගැටලුව වෙනුවෙන් ඊරියතොට තිබෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පත් මණ්ඩලය වෙත පැවරිමත්, යටියන ජල යෝජනා ක්‍රමයට මුල්ගල් තැබීමත් සිදු කරනවා. කඹුරුපිටිය ජීවත්වන දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ව්‍යාපෘතියක් මෙන්ම සාමාන්‍ය පෙළ අසමත්වන දරුවන් විශේෂ කුසලතා ඇති දරුවන් බවට පත්කිරීම වෙනුවෙන් NVQ 4 මට්ටමට සමානවන විශේෂ වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් ඇරඹීමටත් කටයුතු කරනවා. කඹුරුපිටිය හරිත ප්‍රදේශයක් බවට පත්කරමින්, කඹුරුපිටිය මහා විද්‍යාලය හරිත විද්‍යාලයක් බවට පත්කිරීමටත් කටයුතු කරනවා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති රාශියක සමාරම්භක අවස්ථාවන්ට සහභාගීවීමෙන් අනතුරුව පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙතෙක් කලක් අතහැර දමා තිබූ කඹුරුපිටිය පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල නවීකරණය කර දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, නව ප්‍රාදේශීය සභාව තුළ S-5 ක්‍රමය ක්‍රියාත්මක කරමින් නව්‍යකරණය කිරීම, ප්‍රාදේශීය සභා සියලු සේවකයින් ඇගයීමේ සහ දිරිගැන්වීමේ අරමුණෙන් විශිෂ්ඨතා ඇගයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, කඹුරුපිටිය නගර මධ්‍යයේ පවතින අම්බලම නවීකරණය කර, වරිපනම් ආදි බිල්පත් අයකර ගැනීමේ මහජන සේවා පියසක් සමගින් කියවීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ගංවතුරෙන් හානියට පත්වූ ප්‍රාදේශීය සභාවට අයත් කරගොඩ - උයන්ගොඩ කාද්දුව ප්‍රදේශයේ පැවති සුගීශ්වර වික්‍රමසිංහ පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර නැවත නව පුස්තකාලයක් ස්ථාපිත කිරීම ආදී සුවිශේෂී සංවර්ධන කටයුතු රාශියකට අමාත්‍යවරයා සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා, සාර්ථකත්වය රදා පවතින්නේ පුද්ගලයා මත නොව, ක්‍රමානුකූල වූ ක්‍රමවේදයක් මතයි. කඹුරුපිටිය, මැතිවරණ සිතියමේ ඉහළින්ම ඔසවා තැබූ ආකාරයටම නව ක්‍රමවේදයක් මත කඹුරුපිටිය පුරවරයේ ජනතාවගේ ජන්මය, පැවැත්ම, උරුමය වෙනුවෙන් මත් වුවදුරු නොමැති, නිදහසේ ජීවත්විය හැකි, සොරසතුරු බිය නොමැති දේශපාලන පළිගැනීම් සහ අතපෙවීම් වලින් තොර පුරවරයක් බවට පත්කිරීමේ ගමන වෙනුවෙන් මා ප්‍රමුඛ ප්‍රාදේශීය සභාව, පලාත් සභාව, දේශපාලනාධිකාරිය මෙන්ම පොලීසිය කොන්දේසි විරහිතව උදව් උපකාර කරනවා. ඒ වෙනුවෙන් දේශපාලඥයෙක්, අමාත්‍යවරයෙක් වගේම කඹුරුපිටියට දැඩි සේ ආදරය කරන තැනැත්තෙක් වශයෙන් මම ඕනෑම සහායක් ලබා දෙනවා. ඒ වගේම කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත්වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනය කරනවා.

පෙබරවාරි කියන්නේ කෙටි මාසයක්. නමුත් විදුලිබල ක්ෂේත්‍රයේ රටම වෙනස් කරන ව්‍යාපෘති රාශියක් මෙම මාසය තුළ අපි ආරම්භ කළා. පළමු එල්.එන්.ජී. බලාගාරය ආරම්භ කිරීම, කසල වලින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ඒකකයක් රු. 30.00 ක් පමණ මුදලකින් වාර්ෂිකව ඒකක බිලියන 16 ක් පමණ නිපදවන විදුලිය, ඒකකයක් රු.14.00 ක් වැනි මුදලකින් නිපදවීමට, ඩීසල් බලාගාර එල්.එන්.ජී. බවට පත්කිරීම වෙනුවෙන් ලංකාවේ පළමු එල්.එන්.ජී. සැපයුම නල මගින් කෙලවරපිටියට ලබාදීමේ ජාත්‍යන්තර ටෙන්ඩරය කැදවීම ආදි විදුලිබල ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයන් කිහිපයක් සනිටුහන් කරන්න අපට හැකිවුණා. ඒ වගේම කිලෝවොට් 100 බැගින් වූ කුඩා සූර්යබල ව්‍යාපෘති දහසේ වැඩසටහනේ පළමු ව්‍යාපෘති 800 වෙනුවෙන් ලන්සු කැදවීම ලබන මස සිදුකරන්න අපි සූදානම් යැයි පැවසීය. මේ රටේ ප්‍රාදේශීය සභා 341 ක් අතරින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව විශිෂ්ඨතම ප්‍රාදේශීය සභාව බවට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට දකුණු පළාත් හිටපු අමාත්‍ය බින්දු වීරසිංහ මහතා ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.