ඉන්ධන මිලත් ඉහළ යයි??..

Sri Lanka Gas Fuel prices Milk powder Ciment
By Aruna Oct 11, 2021 06:48 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින් මෙසේ ඉහල දැමීමට අවධානය යොමු වී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.

මේ අතර ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

මේ අතර ලාෆ් සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.

ලාෆ් ගෑස් සමාගම පසුගිය අගොස්තු මාසයේ දී ද කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ නංවා තිබුණි.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.

ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් මෙලෙස කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now