රෝගීනුත් අනතුරේ.. ඉන්ධන ගැටලුව උග්‍ර වෙයි..

Sri Lanka Fuel Crisis Fuel Price In World
By Sithumi Jun 30, 2022 11:50 AM GMT
Sithumi

Sithumi

Report

රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් සඳහා ඉන්ධන ලබාගැනීම මේ වන විට ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම් සහිත රෝහල්වලට රැගෙනඒමට නොහැකි වීමෙනුත්, ජෙනරේටර් සඳහා ඉන්ධන නොමැතිවී ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකවල කටයුතු ඇණ හිටියහොත් ඉදිරියේ දී ජීවිත හානි පවා සිදුවීමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එමෙන්ම රට තුළ ඇති ඖෂධ හෝ රෝහල් අතර බෙදාහැරීමට ද මෙයින් බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ. ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එහි ගිලන් රථ 15 හිම ප්‍රමාණවත් ඉන්ධන නොමැති බවයි. එමෙන්ම එම රෝහලේ ඖෂධ ප්‍රවාහන ලොරි රථ දෙකක්, විවිධ කටයුතු වෙනුවෙන් යොදාගන්නා කැබ්රථ හතරක් සහ වෑන් රථයක් ද ඉන්ධන නොමැතිය ගාල් කර ඇති බව රෝහල් සේවකයෝ පවසති. වැල්ලවාය මූලික රෝහලට අයත් ගිලන් රථ තුනෙන් දෙකක් ඩීසල් නොමැතිව ගාල් කර ඇති අතර අනෙක් ගිලන් රථයෙහි ද මොණරාගල රෝහලට එක් වරක් ගොස් නැවත පැමීණිමට පමණක් ඇතැයි එහි වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතා පවසයි.

අනුරාධපුර ශීක්ෂණ රෝහල, කටියාව, සේනපුර, එප්පාවල, හොරොව්පතාන, තඹුත්තේගම යන රෝහල්වල ඇති ගිලන් රථවල ද මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බව වාර්තා වේ. රට පුරා තවත් රෝහල් රැසක මෙම ගැටලුව මතුවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්ධන ගැටලු හා සේවකයන්ට සේවයට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික ගිලන්රථ සේවා ද මේ වන විට සේවා පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now