දිවයින පුරා සිටින සාමාන්‍ය ජනතාවගේ හෘද රෝගීන් වෙනුවෙන් කැත් රසායනාගාර ඒකක 4 ක්
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි මෙන්ම දැවැන්ත ඉදිරි පියවරක් නිල වශයෙන් සනිටුහන් කරමින් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතිය වෙත අතිනවීනතම කැත් රසායනාගාර ඒකක 4 ක් අලුතින්ම එක් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා සිටින සාමාන්‍ය ජනතාවගේ හෘද රෝග විනිශ්චය සහ ඒ සඳහා වන විශේෂිත ප්‍රතිකාර ක්‍රමවේදයන් වෙත පවතින ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සෘජු උපදෙස් සහ මඟපෙන්වීම් මත අදාළ අමාත්‍යාංශය විසින් මෙම නවීනතම රසායනාගාර ඒකක ස්ථාපිත කිරිමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාගන්නා මෙවැනි එක් අතිනවීන කැත් රසායනාගාර ඒකකයක දේශීය වටිනාකම රුපියල් මිලියන 300 ක් වන අතර ඒ අනුව මෙම සුවිශේෂී වෛද්‍ය යන්ත්‍ර 4 ක් රෝහල් පද්ධතියට මිලදී ගැනීම සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1200 ක් වැනි අතිවිශාල මුදලකි.
අමාත්‍යාංශයේ නිල සැලසුම්වලට අනුව එළඹෙන ජුනි මස 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේද ජුනි මස 30 වන දින කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේද මෙම අතිනවීන කැත් රසායනාගාරය බැගින් මහජන ප්‍රතිකාර සේවා සඳහා නිල වශයෙන් එක් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම ඉදිරි ජුලි මස 02 වන දින කොළඹ ජාතික රෝහල වෙත එකවර කැත් රසායනාගාර ඒකක 2 ක් ද දරුණු හෘද රෝගී ප්‍රතිකාර කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් එක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉතාමත් සාර්ථක ලෙස සැලසුම් කර ඇත.