දැන්වීම් පුවරුවකට රුපියල් 5,000ක් ඉල්ලූ ගාල්ල නගර සභාවේ දෙදෙනෙකු අද උදේ වැටලීමකින් කොටු
රුපියල් 5,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලට අනුව, පැමිණිලිකරු සේවය කරන තීන්ත අලෙවි ආයතනයක වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධ ලේඛන කඩිනමින් ලබාදීම වෙනුවෙන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව, අල්ලස් මුදල දෙවන සැකකරු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කළ බවට චෝදනා කරමින් ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම, පළමු සැකකරුගේ උපදෙස් මත අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට චෝදනා මත වැඩ ක්ෂේත්‍ර කම්කරුවා ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අද (25) පෙරවරු 8.50ට පමණ ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.