ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන 'නිම්ස්' පූර්ජා ඇතුළු කණ්ඩායම හිම කුණාටුවකට හසුවී අතුරුදන්-සිරුරු 4ක් හමු වෙයි

By Kanchana Jul 31, 2026 09:00 AM GMT
Report

පකිස්ථානයේ බ්‍රෝඩ් පීක් කන්ද මත ඇති වූ ප්‍රබල හිම කුණාටුවකින් අනතුරුව අතුරුදන් වූ ලෝක ප්‍රකට කඳු නගින්නා වන නිර්මාල් "නිම්ස්" පූර්ජා ඇතුළු කණ්ඩායම සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පකිස්ථාන ඇල්පයින් සමාජය පවසයි.

මධ්‍යම රාත්‍රියට ආසන්නව ඇති වූ හිම කුණාටුවේදී මීටර් 8,047ක් උස බ්‍රෝඩ් පීක් කන්ද මත සිටි බවට සැලකෙන ඇමරිකානු ජාතිකයෙකු ඇතුළු කඳු නගින්නන් 10 දෙනෙකු සොයා ගැනීම සඳහා භූමි කණ්ඩායම් සහ හෙලිකොප්ටර් කණ්ඩායම් කරකෝරම් කඳු වැටියේ විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

මෙහෙයුම් අතරතුර මේ වන විට මළ සිරුරු හතරක් සොයාගෙන ඇති බව පකිස්ථාන ඇල්පයින් සමාජයේ සභාපති ඉර්ෆාන් අර්ෂාඩ් ඛාන් සඳහන් කළේය. කෙසේ වෙතත්, එම සිරුරු තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැත.

දරුවන්ට වයස අවුරුදු 2 වෙනකම් සීනි දෙන්න පරිස්සම් වෙන්න - ඩිමෙන්ශියා අවදානම ගැන විද්‍යාඥයින්ගෙන් රතු එළියක්

දරුවන්ට වයස අවුරුදු 2 වෙනකම් සීනි දෙන්න පරිස්සම් වෙන්න - ඩිමෙන්ශියා අවදානම ගැන විද්‍යාඥයින්ගෙන් රතු එළියක්

අතුරුදන් වූ කණ්ඩායමට නිර්මාල් පූර්ජා සහ ඇමරිකානු කඳු නගින්නා මැලරි ගයිස් ඇතුළු ඕමානය, පකිස්ථානය සහ නේපාලය නියෝජනය කරන කඳු නගින්නන් පිරිසක් අයත් වේ.

හිම කුණාටුවෙන් පසු ඔවුන් කිසිවෙකු සමඟ සම්බන්ධතාවක් නොලැබුණු අතර, කඳු නගින්නන් සිව්දෙනෙකුගේ GPS සංඥා තවමත් හඳුනාගත හැකි බව ඇල්පයින් සමාජයේ ප්‍රධාන ලේකම් අයාස් අහමඩ් ෂිග්‍රි පැවසීය.

සිකුරාදා උදෑසන සිට කාලගුණය යහපත් තත්ත්වයට පත්ව ඇති අතර, සති අන්තය පුරා එම තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇත.

ලෝක කඳු නැගීමේ ඉතිහාසයේ සුවිශේෂී නාමයක් "නිම්ස්" ලෙස ප්‍රසිද්ධ නිර්මාල් පූර්ජා 2019 වසරේදී ලොව මීටර් 8,000ට වැඩි උසකින් යුත් කඳු මුදුන් 14ම මාස හයකට අඩු කාලයක් තුළ තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවීය.

එම අසාමාන්‍ය ජයග්‍රහණය Netflix හි ජනප්‍රිය වාර්තා චිත්‍රපටයක් වන "14 Peaks: Nothing Is Impossible" හරහාද ලොවට හඳුන්වා දෙන ලදී. ඔහු මීට පෙර වසර 16ක් බ්‍රිතාන්‍ය හමුදාවේ ගුර්කා බලකායේ සහ පසුව රාජකීය නාවික හමුදාවේ විශේෂ බෝට්ටු සේවයේ සේවය කළ සෙබළෙකි.

2012 වසරේ එවරස්ට් මූලික කඳවුර වෙත ගිය ගමනකින් පසු කඳු නැගීම කෙරෙහි දැඩි උනන්දුවක් ඇති වූ පූර්ජා, පසුව ලෝකයේ වඩාත්ම දක්ෂ හා නිර්භීත කඳු නගින්නන් අතරට එක්විය.

2018 වසරේදී ඔහුගේ හමුදා සේවය සහ කඳු නැගීමේ ජයග්‍රහණ අගයමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකත්ව ගෞරවය (MBE) ද පිරිනැමුණි.

නව ඉතිහාසයක් ලිවීමට සැලසුම් කරමින් සිටියදී බ්‍රෝඩ් පීක් තරණය කිරීමෙන් අනතුරුව, ලොව හයවන උසම කන්ද වන චෝ ඔයු තරණය කර මීටර් 8,000ට වැඩි කඳු මුදුන් 14ම දෙවරක් තරණය කළ ඉතිහාසයේ පළමු පුද්ගලයා බවට පත්වීම පූර්ජාගේ මීළඟ ඉලක්කය වී තිබුණි.

අනතුරට පෙර X සමාජ මාධ්‍ය ගිණුමේ ඔහු මෙසේ සටහන් කර තිබුණි.

"බ්‍රෝඩ් පීක්, මට අවශ්‍ය එකම දෙය ආරක්ෂිතව ඉහළට ගොස් නැවත පහළට පැමිණීමයි. කිසිදු කන්දක් මම සුළු කොට නොසලකමි.මූලික කඳවුරෙන් පිටවන මොහොතේ සිට සියයට සියයක්ම කැපවෙමි. එය සැමවිටම එසේමයි."

බ්‍රෝඩ් පීක් – අභියෝගාත්මක කඳු මුදුනක් ලෝකයේ 12වන උසම කඳු මුදුන වන බ්‍රෝඩ් පීක්, K2 තරම් තාක්ෂණිකව දුෂ්කර නොවුවද, ඉතා දැඩි හා අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සඳහා ප්‍රසිද්ධය.

2013 වසරේදී එම කන්ද තරණය කිරීමෙන් පසු ඉරාන කඳු නගින්නන් තිදෙනෙකු බැස එන අතරතුර ජීවිතක්ෂයට පත්වූ අතර, 2008 වසරේ K2 කන්දේ සිදු වූ හිම කුණාටුවකින් කඳු නගින්නන් 11 දෙනෙකු මියයාම පකිස්ථානයේ නූතන කඳු නැගීමේ ඉතිහාසයේ දරුණුතම ව්‍යසනය ලෙස සැලකේ.

මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදන් වූ පිරිස සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටින අතර, අනන්‍යතාව තහවුරු නොකළ මළ සිරුරු හතර පිළිබඳ වැඩිදුර විමර්ශන ද ක්‍රියාත්මක වේ.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න