කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි [VIDEO]
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම මරණය වඩාත් ආන්දෝලනාත්මක වී ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක මෙලෙස ඔහු මියගොස් සිටීම හේතුවෙනි.
මෙම සිද්ධියේ පසුබිම දෙස බැලීමේදී පසුගිය මාර්තු මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝලීය එයාර් බස් සමාගම සමඟ සිදුකළ ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුකළ බවට එල්ල වූ චෝදනා මතය.
මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු පසුගිය මැයි මස 05 වැනිදා අධිකරණය මගින් ඇප මත මුදාහැරීමට නියෝග කළද එම ඇප ලබාගැනීමේදී ඔහු විසින් ඉදිරිපත් කළ ඇපකරුවන් පිළිබඳව බරපතල ගැටලුවක් මතු විය.
ඔහු විසින් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර තිබුණේ රුපියල් 15,000 ක මුදලක් ගෙවා ලබාගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු බවට අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබුණි.
මෙම කරුණු ඊයේ අධිකරණය හමුවේ තහවුරු වීමත් සමඟ කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බව තීන්දු කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහුට ලබාදී තිබූ ඇප වහාම අවලංගු කර ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ වරෙන්තු නිකුත් කළේය.
පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින අතරතුර අද උදෑසන වාර්තා වූ මෙම මරණය පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වන කොල්ලුපිටිය පොලීසිය මෙය සැකකටයුතු මරණයක් ලෙස නම් කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මරණයට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.