වැඩි මිලට ජල බෝතල් වික්ක හෝටල් දෙකකට රුපියල් ලක්ෂ 10ක දඩයක්
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීම හේතුවෙන්, එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (2026 මැයි 13) නියෝග කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු පැමිණිලි මත සිදු කළ විශේෂ වැටලීම්වලින් පසුව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
මෙහිදී අනාවරණය වූයේ රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් සහිත ලීටර් 1ක පානීය ජල බෝතලයක් රුපියල් 450කට සහ රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500ක ජල බෝතලයක් රුපියල් 300ක් වැනි අධික මිලකට මෙම හෝටල් විසින් අලෙවි කර ඇති බවයි.
පාරිභෝගිකයන් සූරාකෑමට ලක් කරමින් සිදු කරන මෙවැනි නීතිවිරෝධී මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල (MRP), කල් ඉකුත්වීමේ දිනය සහ බිල්පත පරීක්ෂා කිරීම පාරිභෝගික අයිතියක් බව ද එම අධිකාරිය වැඩිදුරටත් මතක් කර සිටියි.