දරුණු අනතුරක් - යතුරුපැදිය මතට අත්තක් වැටි පියා-දියණිය රෝහලේ
අයගම ඈගල්ඔය මාර්ගයේ පල්ලෙකඩ ප්‍රදේශයේදී අද (06) ගසක විශාල අත්තක් මාර්ගයට කඩා වැටීමෙන් යතුරුපැදියක ගමන් කරමින් සිටි පියෙකු සහ පාසල් දියණියක තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ දෙදෙනාම ප්‍රතිකාර සඳහා අයගම රෝහල වෙත ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පවසයි.
ගස කඩා වැටීමත් සමඟ එම ස්ථානයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට සහ අසල පිහිටි නිවසකට ද දැඩි අලාභහානි සිදුව ඇත.
මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුව ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී පවතින බව වාර්තා වේ.
මාර්ගය හරහා වැටී ඇති බෝ අත්ත ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටින බව අයගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ මෙවැනි අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.