දක්ෂ ක්‍රීඩක පිය-පුතු දෙපළක් කොවිඩ් වැළඳීමෙන් මරුට

covid19 cricket sulki hameed ibrahim hameed rugby
By Sewvandhi Aug 20, 2021 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ, රාජකීය විද්‍යාලයේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සුල්කි හමීඩ් සහ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙකු වූ ඔහුගේ පියා වන ඊබ්‍රහීම් හමීඩ් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, සුල්කි හමීඩ් මහතා අද දිනයේදීත්, ඔහුගේ පියා ඊයේ දිනයේදීත් ජීවිතක්ෂයට පත්වීමය.

සුල්කි හමීඩ් වර්ෂ 1991-92 අවුරුදු දෙක තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ අතර,කණ්ඩායමේ කඩුළු රකින්නා මෙන් ම ප්‍රබල පිතිකරුවෙකු ද විය.

සුල්කිගේ පියා මරදාන, සහිරා විදුහලෙන් බිහිවූ දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු වූ අතර, 1971 වසරේදී පොලිස් රගර් කණ්ඩායමේ නායකත්වය දැරීය.

මේ අතර , කොරෝනා ආසාදනය වීමෙන් මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතවූවන් බවත්, ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් විකෘති කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න චෝදනා කළා. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 11,573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එය සදහන් වී ඇත්තේ රෝගීන් 8908ක් බැවින් දත්තවල පරස්පරතා පවතින බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. එමෙන්ම හැටන් - දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුලුව 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානය සඳහා යොමුකර ඇති අතර, ඒ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනි ව විශාල පිරිසක් සහභාගි කරගනිමින් බගවන්තලාව - ආරියපුර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් නතර කිරීමට සෞඛ්‍ය බලධාරින් අද (20) උදෑසන කටයුතු කරනු ලැබුවා.

ඒ සඳහා 100 කට ආසන්න පිරිසක් එක් ව සිට ඇති බවට යි වාර්තාවන්නේ. කෙසේ වෙතත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම විවාහ මංගල උත්සවය සඳහා අවසර ලබාගෙන ඇතත්, ඒ අනුව අවසර හිමි වී ඇත්තේ දෙපාර්ශවයේ සීමිත ඥාතීන් පිරිසක් සඳහා පමණයි.

මේ අතර, පවතින කොරෝන තත්ත්වය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ම දේවස්ථානවල පැවැත්වෙන පූජාවන් සඳහා බැතිමතුන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුසමන් සියලු ම දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now