කැස්බෑවන් 176ක් මරාදැමූ එක්ස්ප්‍රස් පර්ල්

express pearl colombo court toutal dolfin
By Sewvandhi Jun 30, 2021 10:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ පරිසර හානිය නිසා මුහුදු සත්ත්වයින් 200 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20 ක් සහ තල්මසුන් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඊට අමතරව එම සත්ත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha