ගිනිගත් නෞකාවේ දේශීය නියෝජිතට ඇප

express pearl colombo court arjuna hettiarachchi released bail madava thennakoon
By Sewvandhi Jun 16, 2021 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම නෞකාවේ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

සැකකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු නොවිය යුතු බවට ද නියෝග කළා.

සැකකරුට විදෙස් ගමන් තහනමු කළ අධිකරණය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසයි නියම කළේ. මොහු වෙත අලු‍තින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස ද ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කෙරුණා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හා දුමාරයක් පිටවන බව දනිමින් ඒ බව වසන් කොට අදාළ නෞකාව දේශීය ජල තීරය තුලට පිවිසීමට මෙම සැකකරු ඇතුළු ඔහුගේ සමාගම ආධාර අනුබල දී ඇති බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අවස්ථාවක සත්‍ය වසන් කිරීමක් සිදුකර නොමැති බව සඳහන් කළා. අදාළ නෞකාව මැයි මස 19 වනදා දේශීය ජල තීරය තුළට පිවිසි බවත් 20 වනදා සවස 4.30ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් නැවට ගොඩ වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මැද්දේගොඩ එම අවස්ථාව වනවිටත් නෞකාව තුළ ගින්නක් හටගෙන නොතිබූ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මැයි මස 20 වන දා වනවිටත් නෞකාව තුළ ගින්නත් නොතිබූ බව පැහැදිලි වී ඇති බවත් ගින්න හට ගැනීමට පෙර පැය 24 කට වැඩි කාලයක් අදාළ නෞකාව වරාය අධිකාරිය භාරයේ තිබී ඇති හෙයින් එම නෞකාව තුළ ඇති වූ අනතුරු සම්බන්ධයෙන් තම සේවාදායකයාට වගකිව නොහැකි බවත් මෙහිදී ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරුට ඇප නියම කරමින් යළි ලබන මස 01 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා. මේ අතර, නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පාරිසරික හානිය සහ ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් අසරණව සිටින ජන කොටස් වෙත සහන සලසන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද පෙරවරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා.

එමෙන්ම අද දිනයේත් මියගිය කැස්බෑවන්ගේ සිරුර වෙරළට ගොඩ ගසා තිබුණා. මේ අතර සාගර මුහුදු මිතුරු සංසදය කොස්ගොඩ මුහුදු තීරයේ විරෝධතාවක නිරත වූයේ කැස්බෑ සංරක්ෂණයේ යෙදෙන පිරිස් මුහුණ දී ඇති ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now