රිලව් අපනයනයට මොකද උනේ? එහි වත්මන් තත්ත්වය..

Sri Lanka China Ministry of Agriculture
By krishani May 19, 2023 11:26 PM GMT
krishani

krishani

Report

ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනුකර ඇති පෙත්සම ලබන 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.

ඒ එම පෙත්සම ඊයේ (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී අවස්ථාවේ දී ය.

මෙම නඩුකරයට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය.

ඒ අනුව පෙත්සම නැවත ලබන 26 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන සහ රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පරීක්ෂණ කටයුත්තක් සඳහා මේ රට රිළව් ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔවුන් පවසා සිටියේ.

මෙයින් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බවත් එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් පෙත්සම්කරුවන් කියා සිටි අතර මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

කෙසේවෙතත්, එසේ අපනයනය කිරිම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join