ලංකාව පුරා සෑම ගමකටම ලැබෙන දෙයක් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්...

Mahinda Amaraweera Sri Lanka Politician Ministry of Agriculture
By Aruna Apr 18, 2024 01:09 PM GMT
Aruna

Aruna

Report

එක ගමකට එක භෝගයක් පමණක් වගා කිරීමේ වැඩසටහන මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ, අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අවසන් නැකත වන “පැළ සිටුවීමේ නැකත’’ යෙදී තිබුණු අද(18 ) “නැකතට පැළයක්’’සිටුවීමේ ජාතික උත්සවයේදීයි.

මෙම උත්සවය බත්තරමුල්ල,කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර, නැකත යෙදී තිබුණු පෙරවරු 10.16 ට ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ භූමියේදී පැළයක් රෝපණය කිරීමට කටයුතු කළේ ය.

එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති කාදර් මස්තාන්,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරුන් සහභාගි වූහ.

ඇමැතිවරයා කියා සිටියේ, නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව මේ වසරේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු ලක්ෂයක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙවතු 30,000 ක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මීට අමතරව,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පුවක් පැළ ලක්ෂ 15 ක්ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ පැළ ලක්ෂ 13 ක්ද පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් පැළ ලක්ෂයක්ද දිවයින පුරා වගා කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

“අපි මෙතෙක් කාලයක් රටපුරා සිටවපු පැළ, ගස් බවට පත්වෙලා නෑ. නමුත්,මම ඉකුත් 2020 වසරේ සිට අලුත් අවුරුද්දට පැළයක් සිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

මෙරට වනාන්තර ප්‍රමාණය සියයට 29.2 ක්. ජාත්‍යන්තර එකඟතා අනුව එය සියයට 30 ක් දක්වා ඉහළ දැමිය යුතුයි.

එය දශම ගණනක් වූවත්,හෙක්ටයාර් වශයෙන් ගත්විට හෙක්ටයාර් 16,000 ක්.

කුමන හෝ පැළයක් සිටුවනවාට වඩා ඵල දරන පැළයක් සිටුවීමෙන් රටට ආර්ථිකමය වශයෙන්ද වැදගත් වෙනවා.

මෙලෙස සිටුවන පැළ ගැන වසර පුරා වරින් වර සොයා බැලීමද සිදු කෙරෙනවා.

අපේ සැලැස්ම ඉදිරි කාලයේදී පලතුරු ආනයනය නොකර රටට අවශ්‍ය පලතුරු ප්‍රමාණය රට තුළම වගා කිරීමයි.’’යැයිද ඇමැතිවරයා අවධාරණය කළා.

ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වසරේදී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 150 ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.