පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!

By Sewvandhi Sep 13, 2021 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේදී එම ප්‍රහාර එල්ල වී තිබුණි. සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ බව දන්වා බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කරනු ලැබූ නියෝගයේ දැක්වේ. විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට බාරදීමට නියමිතය. මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජාතික වැදගත්කමක් සහිත මෙම නඩුකරය විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් නවුෆර් මව්ලවි,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තවත් නඩු දෙකක් පවරා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha