ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට තාක්ෂණික සහාය ලබාදෙන්න පකිස්ථානයේ සූදානම්
පකිස්ථානු මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් යූ.අයි අසීස් මහතා සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්වී තිබේ.
මෙම හමුවේදී, පකිස්ථානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉතා වැදගත් රටක් ලෙස සලකන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට පකිස්ථානය සූදානම් බවත්ය.
විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා තාක්ෂණික සහය ලබාදීමට ද පකිස්ථානය එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙම හමුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධනයටත්, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් මග පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වන Dairy Hub සංකල්පය කෙරෙහි ප්‍රසාදය පළ කළ මහකොමසාරිස්වරයා ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දිය හැකි සහයෝගය පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන ලදී.
ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොමසාරිස්වරයා කෘෂිකාර්මික දැනුමෙන් ලාංකික තරුණයින් සවිබල ගැන්වීම සඳහා පකිස්ථානයට ශිෂ්‍යත්ව ලබා දිය හැකි බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා මෙන්ම පකිස්ථානු නියෝජිතයන් ද සහභාගී විය.
