"..මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි.." - මහනුවර කුඹල් පෙරහැරේ අලි කුලප්පුවට හේතුව හෙළි වෙයි..
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රියේ දී වීදි සංචාරය කළේ ය.
එහිදී වීදි සංචාරය කරන අතරතුර ඇතුන් දෙදෙනෙකු නොසන්සුන් වීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
එයට හේතු වී ඇත්තේ නරඹන්නෙකුගේ හැසිරීමක් බව දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර නිලධාරී ප්‍රදීප් මීනපළාවල මහතා සඳහන් කළේ ය.
ඒ විෂ්ණු දේවාල පෙරහරේ සහ කතරගම දේවාල පෙරහරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු මෙලෙස නොසන්සූන් තත්ත්වයට පත් වූයේ.
කළබලයට පත් වූ ඇතුන් දෙදෙනෙකු දළදා වීදිය ඔස්සේ දිව ගිය අතර පසුව ඇත්ගොව්වන් එම ඇතුන් පාලනය කිරිමට සමත් විය.
අද දළදා මාලිගා පරිශ්‍රයේ දී මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් විදේශ සාකච්ඡාවක් පැවැත්විණ.
එම සාකච්ඡාවට ඇත් ගොව්වන් ද එක්ව සිටි අතර එහිදී දියවඩන නිළමේවරයා ඔවුන්ට උපදෙස් මාලාවක් ද ලබා දුන් අතර ඇත් ගොව්වන් සඳහන් කර සිටියේ නරඹන්නන්ගේ ක්‍රියා කලාපය නිසා මෙසේ අලි කලබල වී කුලප්පු වන බවයි.
එහිදී අදහස් දැක් වූ ඇත් ගොව්වා කියා සිටියේ මෙවැන්නකී,
''දරුවෙක් අලියාගේ හොඬය ලඟට ලංකොට නළාවක් පිම්බා එත් එක්ක අලියා කලබල වෙලා අනෙක් පැත්තට හැරුණා.
ඒ නිසා කරඬුව වඩම්මන එහා පැත්තේ හිටපු ඇතාගේ ඔළුවේ වැදුණා.ඒ හින්දා අලියා තවත් බය වෙලා දුවන්න පටන් ගත්තා.
මම අවුරුදු 25ක් තිස්සේ අලි බලන කෙනෙක්.මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි. සමහර අය අලින්ගේ ඇස්වලට ලෙසර් වැනි දේ අල්ලනවා ඒ නිසා අලි කලබල වෙනවා.''
කෙසේ වෙතත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද (23) රාත්‍රියේ වීදි සංචාරය සිදු කරයි.
