වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැලක් වටලයි

By Sithumi Apr 11, 2023 01:55 PM GMT
Sithumi

Sithumi

Report

වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි බණ්ඩාර අලහකෝන් මහතාට අයත් බිත්තර අලෙවිසැලක් අද (11) වටලනු ලැබුවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම වැටලීම සිදුකර තිබුණා.

මාවතගම පිලැස්ස, උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එම බිත්තර අලෙවිසැල වටලානු ලැබුවේ මාවතගම පොලීසියේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 45ක මිලට වඩා වැඩියෙන්, (රුපියල් 55ක මිලක් අය කරමින්) අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙලෙස බිත්තර අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

උපාය දූතයෙකු යොදවා බිත්තර හැටක් රුපියල් 55 බැගින් මිලදී ගැනීමෙන් පසුව ඔහුට අයත් එම වෙළෙඳසැල වැටලා ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ බිත්තර 50,000කට අධික ප්‍රමාණයක් අලෙවිය සඳහා සූදානම් කර තිබී ඇති බවට ද වාර්තා වනවා.

රජය විසින් නියම කරන ලද මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නසිරි බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළා.