බිත්තර මිල යළි ඉහළ යන බවට විශේෂ අනාවරණයක්..
මේ මාසයේ මැද සතියෙන් පසු බිත්තර මිල යළිත් වරක් ඉහළ දැමීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් සැලසුම් කර ඇතැයි අනාවරණය වනවා.
සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ කර්මාන්තය සූක්ෂම ලෙස බිඳ දමා බිත්තර මිල ඉහළ දැමීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ දිනවල රුපියල් 35ත් 37ත් අතර සිල්ලර මිලකට බිත්තරයක් අලෙවි කරන අතර, සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළවලින් රුපියල් 28ත් 30ත් අතර මිලකට මිලදී ගන්නා බිත්තරයක් මෙලෙස වැඩි මිලකට සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියෝ විසින් අලෙවි කරනු ලබයි.
බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 34 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපොළ හිමියන්ට බිත්තර අලෙවියේදී සිය නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි අනාවරණය වී ඇත්තේ.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා පැවසුවේ, කුකුළු ආහාර ලෙස ලබාදෙන නිවුඩු සහල් කිලෝවක් පසුගිය දිනවල රුපියල් 80ක මිලකට පැවැති බවත්, මේ වනවිට වී මෝල්වල සහල් නිෂ්පාදන කටයුතු නතරවී තිබීම නිසා නිවුඩු සහල් කිලෝවක මිල රුපියල් 140 ක් දක්වා වැඩිවී තිබෙන බවයි.
රුපියල් 140 කට පැවැති බඩ ඉරිඟු කිලෝවක මිලද රුපියල් 170 ක් දක්වා වැඩිවී තිබෙනවා.
මෙලෙස සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන වියදමවත් බිත්තර අලෙවියෙන් නොලැබීම නිසා දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි සභාපතිවරයා කියා සිටින්නේ.
කුකුළු ආහාර මිල ගණන් ඉහළ යාමත්, බිත්තර තොග මිල අඩුවීමත් නිසා සිය ආදායම කඩා වැටී ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ පවසයි.
බිත්තර සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ රැසක් මේ වනවිට සිය සතුන් මසට විකිණීමට යොමුවී සිටීම ද බහුලව දකින්න ලැබේ.
මේ නිසා ඉදිරි උත්සව සමයේදී බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස බිත්තර වෙළෙඳපොළ සූක්ෂම ලෙස කඩා දැමීම පිටුපස මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් සිටින බවට තොරතුරු අනාවරණය වනවා.
ඊට හේතුව සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ බිත්තර තොග වෙළෙඳපොළට නොලැබෙන විට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ට බිත්තර මිල කෘත්‍රිමව ඉහළ නැංවීමට අවස්ථාව ලැබෙන හෙයින් වීම ද විශේෂත්වයක්.