සුරේෂ් සලේ එදා මාව හම්බෙලා මේක සමථයකට පත්කර ගමු කීවා එදා මන් කරපු දේ හරියටම හරි - සිරිල් ගාමිණි පියතුමා
පාස්කු ඉරුදින එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානය වන විට රට තුළ ඉතාම සක්‍රීයව සිදුවෙමින් පවතින කිසිදු නීතිමය විමර්ශනයක් දේශපාලන හෝ වෙනත් කිසිදු හේතුවක් මත කිසිසේත්ම නතර නොකළ යුතු බව මෙරට කතෝලික සභාව ඉතා දැඩිව අවධාරණය කර සිටියි.
කොළඹ අගරදගුරු මැදුරේදී අද 08 වැනිදා පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට සෘජුවම එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා සිය කීර්ති නාමයට බරපතළ හානියක් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති එන්සීආර් අපහාස නඩුව සමතයකට පත් කරගැනීම සඳහා සලේ මහතා විසින්ම අධිකරණය තුළදී පෞද්ගලිකව ඉල්ලීමක් කළ ද, තමන් ඊට කිසිසේත්ම එකඟ නොවූ බවයි.
එහිදී මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් දීර්ඝ ලෙස අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණි පියතුමන් පෙන්වා දුන්නේ,
" මේක මම කියන්නම ඕන කියලා මට හිතුනා. අපහාස නඩුව තියෙන එක ඇත්ත. මේ නඩුවේ පළවෙනි දවසේ නඩු කටයුත්ත හමාරවුණාට පස්සේ සුරේෂ් සලේ මහත්මයා උසාවිය ඇතුළේදිම ඇවිල්ලා මාව හම්බුණා. හම්බවෙලා ඔහු මට කිව්වා ෆාදර්, ෆාදර්ව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි මං මේ නඩුව දැම්මේ මගේ නම ආරක්ෂා කරන්න ඕන නිසා කියලා. අපිට සමථයකට පත්වෙන්න පුළුවන් කියලා කිව්වා.
එතකොට එතන පියතුමෙක් හිටියා මාත් එක්ක ෆාදර් ශ්‍රීනාත් කියලා. මා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහත්මයා ඇතුළු නීතීඥ කණ්ඩායමත් එතන හිටියා. මම එතුමාගෙන් ඇහුවා සමථයකට පත්වෙන්න මොකක්ද ඔයාගේ කොන්දේසිකියලා.
එතකොට ඒ මහත්මයා කිව්වා ෆාදර් කරලා තියෙන ප්‍රකාශයෙන් මගේ නම ඉවත් කරගන්න කියලා කිව්වා. එතකොට මම ඔහුට කිව්වා මම ඒ ප්‍රකාශය කරලානේ තියෙන්නේ ඔබේ නමත් එක්ක. එනකොට මට ඒක ඉවත් කරගන්න අවශ්‍ය නැහැ. මම ඒක ඉවත් කරගන්නෙත් නැහැ කියලා. අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා"