ලතින් ඇමරිකානු සංචාරය අරඹද්දී පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුබ ආරංචියක්
පෙනහළු පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දී සති තුනකට පසු ලතින් ඇමරිකානු සංචාරයක නිරත වන 14 වැනි ලියෝ පාප් වහන්සේ තම සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පවසනවා.
සංචාරයට එක්ව සිටින මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් 71 හැවිරිදි පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ තමන් මේ වන විට “ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බවයි. දින 12ක් පුරා පැවැත්වෙන මෙම සංචාරයේ පළමු නැවතුම ලෙස පාප් වහන්සේ උරුගුවේ වෙත පැමිණ තිබෙනවා.
පසුගිය මාසයේ සිදුකළ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකදී ගෙඩියක් හඳුනාගැනීමත් සමඟ මෙම සංචාරය සිදුකිරීම පිළිබඳව සැකයක් මතුව තිබුණා.
කෙසේ වෙතත්, සැත්කම සාර්ථක වූ බවත් පිළිකාව වෙනත් ස්ථානවලට පැතිරී නොමැති බවත් වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා. “පළමු දිනයේ සිටම මට කිසිදු සැකයක් තිබුණේ නැහැ.
මෙම සංචාරය සිදුකළ යුතු බවට මම විශ්වාස කළා” යනුවෙන් පාප් වහන්සේ පවසා තිබෙනවා. එමෙන්ම තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමට ස්තූති කරමින්, ඔවුන්ගේ කැපවීම හේතුවෙන් තම සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
සැමට සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි
උරුගුවේ මොන්ටෙවීඩියෝ නගරයට පැමිණි පාප් වහන්සේට මහජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබුණා. පාප් ජංගම රථයෙන් ගමන් කළ උන්වහන්සේ දැකගැනීම සඳහා විශාල පිරිසක් මාර්ග දෙපස රැස්ව සිටි බවද වාර්තා වනවා.
සංචාරයේ පළමු නිල දේශනයේදී උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අවස්ථාව හිමිවිය යුතු බවයි.
තමන්ට ලැබුණු වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව සිහිපත් කරමින්, නියමිත වේලාවට රෝග විනිශ්චයක් ලබාගැනීමට හෝ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති බොහෝ දෙනා පිළිබඳවද උන්වහන්සේ එහිදී සඳහන් කර තිබෙනවා.
මොන්ටෙවීඩියෝ ආසන දෙව්මැදුරේ යාච්ඤාවකට එක්වීමෙන් පසු එදින වැඩසටහන් අවසන් කළ පාප් වහන්සේ, මෙම සංචාරය අතරතුර සැතපුම් 20,000කට අධික දුරක් ගමන් කිරීමට නියමිතයි.
ආර්ජන්ටිනාව සහ පේරු රාජ්‍යයත් සංචාරයට ඇතුළත්
ඉරිදා දිනයේදී පාප් වහන්සේ ආර්ජන්ටිනාව බලා පිටත්ව යාමට නියමිතයි. එය උන්වහන්සේගේ පූර්වගාමියා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උපන් රට වීමද විශේෂත්වයක්.
ඉන් අනතුරුව පේරු රාජ්‍යය වෙතද සංචාරය කිරීමට නියමිත අතර, එය වතිකානය විසින් “නැවත නිවසට පැමිණීමක්” ලෙස හඳුන්වා තිබෙනවා.
ඒ, 14 වැනි ලියෝ පාප් වහන්සේ මිෂනාරිවරයෙකු ලෙසත් පසුව බිෂොප්වරයෙකු ලෙසත් වසර ගණනාවක් පේරු රාජ්‍යයේ සේවය කර තිබීම හේතුවෙන්.
මෙම සංචාරයේ අරමුණ වන්නේ කතෝලික සභාවෙන් බලාපොරොත්තුවේ පණිවිඩයක් අපේක්ෂා කරන ජනතාව සමීපයට යාම බවද පාප් වහන්සේ පවසා තිබෙනවා.