පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්

sri lanka Eaeaster attack
By Sithumi Jun 20, 2021 12:00 PM GMT
Sithumi

Sithumi

Report

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයන් සිදුකර ගෙන යන බවය.

ඒ අනුව ඉහත විමර්ශනවලින් සිද්ධීන් 9කට අදාළව මේ වනවිට සැකකරුවන් 32ක් සඳහා නීතිපති විසින් කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ කොළඹ යන මහාධිකරණවල නඩු 9ක් පවරා ඇති බවද පෙන්වා දෙයි. ඉතිරි විමර්ශන 8හි නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එක්ව සාකච්ඡා පවත්වමින් කඩිනමින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද සඳහන් කරයි.

ඉහත සාකච්ඡාවලදී අනාවරණය වන නව කරුණු සම්බන්ධයෙන් සහ විමර්ශනවලදී අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ සිදු කරනු ලබන බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now