බීමත්ව ජීවිත 25ක් සමඟ සෙල්ලම් දැමූ රියදුරා අත්අඩංගුවට
හැටන් සිට රාණිකාඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියදුරෙකු අධික ලෙස බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථයේ ගමන් ගත් මගීන් කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය ලුහුබැඳ ගොස් බගවන්තලාව, කැම්පියන් නගරයේදී එය නතර කර ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන්ව වෙනත් බස් රථ මගින් ගමනාන්තය දක්වා යැවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
සැකකාර රියදුරා මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව බගවන්තලාව පොලිසිය සඳහන් කරයි.