ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පිරිවැය මත පදනම්ව සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) දිනට යෙදී තිබුණ ද, එය මැයි මස 02 වැනිදා (අනිද්දා) දක්වා කල් දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල, නැව් ගාස්තු සහ මෙරට බදු අනුපාතයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල තීරණය කරයි.
එමෙන්ම මෙවර මිල සංශෝධනයේදී විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ අගයකින් වැඩි කිරීමට යෝජනා වී තිබෙන අතර, ජාත්‍යන්තර කම්කරු දිනයට (මැයි 01) පෙර එවැනි මිල වැඩි කිරීමක් සිදු කිරීම දේශපාලනිකව නුසුදුසු බවට ඉදිරිපත් වූ යෝජනාවක් මත මෙම කල් දැමීම සිදුවන බව ආරංචි මාර්ග පවසයි.
එසේම මෑතකදී බොරතෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන නෞකා තුනක පිරිවැය ද මෙවර මිල සූත්‍රයට එක් කිරීමට සිදුව ඇත.
ඒ අනුව මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජය මෙහිදී පාඩුවක් දරා නොගන්නේ නම්, පිරිවැයට සාපේක්ෂව ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යා යුතු බවයි.
එහෙත් රජයේ ආරංචි මාර්ග පවසන්නේ පිරිවැයෙන් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මඟින් දරා ගනිමින් ජනතාවට සහනයක් සැලසීමට රජය තීරණය කර තිබෙන බවයි.
එබැවින් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 500ක සීමාවේ හෝ ඊට මදක් වැඩි අගයක පවතිනු ඇති බව අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් අදාළ මිල සංශෝධනය පිළිබඳ නිල නිවේදනය මැයි දිනයෙන් පසුව නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.