ඉන්දියාවට ඩොලර් බිලියන 25ක දැවැන්ත අලාභයක්
2025 වසරේදී ඉන්දියාව තුළ ඩිජිටල් වංචා හේතුවෙන් මිලියන 2.5කට ආසන්න පිරිසක් ඩොලර් බිලියන 25ක් පමණ අහිමි කරගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය රටේ වේගයෙන් ව්‍යාප්ත වන ඩිජිටල් ගෙවීම් පද්ධතිය තුළ සයිබර් අපරාධවල තියුණු ඉහළ යාමක් පෙන්නුම් කරයි.
වංචාකරුවන් බොහෝවිට බලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ගෙවීම් සබැඳි යැවීම වැනි ක්‍රම භාවිතා කරන බව සඳහන් වේ. එවැනි එක් සිද්ධියකදී, පූනේ නගරයේ පුද්ගලයෙකු කුඩා රථවාහන දඩයක් ගෙවීමට යැයි රවටා, එක්වරක් භාවිතා කරන මුරපදයක් (OTP) බෙදා ගැනීමෙන් පසු විශාල මුදල් ගනුදෙනුවකට අනුමැතිය ලබා දී ඇති බවද වාර්තා වේ.
මෙවැනි වංචා “සමාජ ඉංජිනේරු විද්‍යාව” ලෙස විශේෂඥයින් විසින් හඳුන්වයි. ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, විශේෂයෙන් වැඩිහිටි සහ තාක්ෂණික දැනුම අඩු පිරිස් අතර ආරක්ෂක දැනුවත්භාවය අඩුවීම මෙම වංචා වැඩිවීමට හේතු වී ඇති බවද සඳහන් වේ. මෙයට ප්‍රතිචාර ලෙස, ඉන්දියානු සංචිත බැංකුව සයිබර් අපරාධ මැඩපැවැත්වීම සඳහා නව නීතිමය හා තාක්ෂණික පියවර කිහිපයක් සලකා බලමින් සිටී.
ඒ අතර ඇතැම් බැංකු මාරුකිරීම් සඳහා පැයක ප්‍රමාදයක් හඳුන්වාදීම, ඉහළ වටිනාකම් ගනුදෙනු සඳහා අමතර සත්‍යාපනයක් සහ සැකසහිත ගිණුම් සඳහා දැඩි පරීක්ෂණ ක්‍රම ඇතුළත් වේ. කෙසේවෙතත්, විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම පියවර පමණක් ප්‍රමාණවත් නොවිය හැකි බවයි.
බොහෝ වංචා ක්‍රම නවීන හා සංකීර්ණ ලෙස පරිණාමය වී ඇති අතර, ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලියට අධික ප්‍රමාදයන් එක් කිරීමෙන් පරිශීලක අත්දැකීම්ද අඩාල විය හැකි බව ඔවුන් අවධාරණය කරයි.
මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස ශක්තිමත් නීති ක්‍රියාත්මක කිරීම, ආයතන අතර සම්බන්ධීකරණය සහ පුළුල් ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් අත්‍යවශ්‍ය බව විශේෂඥ මතය වී ඇත.