එන්නත ගත් අයගෙන් වෙනත් අයට කොරෝනා සම්ප්‍රේෂණය වනවා ද? - ආචාර්ය චන්දිම ජීවන්දර

covid19 vaccination delta chandima jeewandhara
By Sewvandhi Aug 20, 2021 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ගෙන් එන්නත් නොකළ පුද්ගලයින්ට කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව 65%කින් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විදයායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එන්නත්කරණයේ ඇති සාර්ථක දායකත්වය සහ ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් බවය. තව ද ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් ද නව සොයා ගැනීම් කිහිපයක් ඔහු සිය පණිවිඩය හරහා සඳහන් කර ඇත.

ඔහු පවසන්නේ, ඩෙල්ටා වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමට දින 5ත් 6ත් අතර කාලයක් ගත වන බවය. ඒ අනුව එම වෛරසය ආසාදනය වීම සහ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අතර දින 2ක පමණ පරතරයක් පවතින බව ඔහු පෙන්වා දී තිබේ.

නමුත් මින් පෙර කොරෝනාවෛරසය සම්බන්ධ සොයාගැනීම්වලදී වෛරස සම්ප්‍රේෂණය සම්බන්ධ මෙම පරතරය දිනකට අඩු කාලයක් ලෙස පැවති බව ද ඔහු සඳහන් කර තිබේ.

පවතින තත්ත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කළ අවදියේදී එම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව 74%ක පමණ ඉහළ අගයක් පෙන්නුම් කරන බව ඔහු පවසා ඇත.

ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයාමේ හේතුව ලෙස මෙය ලෙස දක්වන ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, එන්නත් කළ අයෙකුගෙන් තවත් අයෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ ප්‍රතිශතය යම් අවම මට්ටමක පවතින හෙයින් එන්නත්කරණය වසංගතයෙන් මිදීමට ඉතා වැදගත් බවය.

මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් බොහෝ පිරිස් සමාජය තුළ සිටිය හැකි බවටයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now