කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න ඕන නම් වෛද්‍ය උපදෙස් නැතුව දරුවන්ට බෙහෙත් දෙන්න එපා..!

covid19 drugs righway arya hospital G.Wijesooriya
By Sewvandhi Aug 21, 2021 06:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසුවේය.

මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා මෙසේ ද කීය.

"මේ වනවිට රෝහලේ කාර්යමණ්ඩලයෙන් 50කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන්ව අපි මේ වනවිට රෝහල තුළ තබාගෙන ප්‍රතිකාර කටයුතු සිදුකරනවා. රෝගය පැතිරීමේ යම් උච්ච තත්ත්වයකට මේ වනවිට පත්ව තිබෙනවා. මේ අවස්ථාවේදී හැම මවුපියෙක්ම තමන්ගේ කුඩා ළමයින් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා.

මොක ද කුඩා දරුවන්ට මේ රෝගය බෝවෙන්නේ මවුපියන් හා වැඩිහිටියන් මාර්ගයෙනුයි. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපට වාර්තා වනවා කුඩා දරුවන් මේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග, විටමින් B වැනි දේ ඇතුළු දේවල් දෙන බවට තොරතුරු ලැබෙනවා.

ඇත්තට ම දරුවන්ට එහෙම ලබාදීමක් සිදු කරන්න එපා කියලා අපි ඉල්ලනවා. මොක ද නිසි වෛද්‍ය උපදෙසකින් තොරව එවැනි දේවල් දෙන්න එපා. දරුවෙකුට යම් කිසි ආකාරයක රෝග ලක්ෂණයක්, පෙන්නුම් කරනවා නම් වහා ම රෝහලට රැගෙන එන්න කියලා අපි ඉල්ලනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන කිසි ම දරුවකු අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ."

එමෙන්ම,වැඩිහිටියන් සහ ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.

පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි. මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now