රට පුරා ඩෙංගු අවදානමේ... අවදානම් කළාප මෙන්න..

By Sithumi May 14, 2023 03:33 PM GMT
Sithumi

Sithumi

Report

මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධික වන අතර මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

  මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල් දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,656 ක් වනවා.

එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී තිබෙන අතර ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළමු වනදා සිට 7 වනදා දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 475 ක් වන අතර දෙවනුවට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන 412දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, රෝගීන් 136ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබුණා.

ඒ අනුව ගෙවුණු සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1,954 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබූ අතර ඉන් සියයට 51.7ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඩෙංගු රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව රට තුළ අධි අවදානම් කලාප කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මේ වන විට නම් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ එම කලාප වන්නේ, කොළඹ මහ නගර සභා සීමාව
ගොතටුව 
පිළියන්දල
කඩුවෙල
මහරගම සහ බත්තරමුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ, 
වත්තල
මීගමුව
බියගම
රාගම සහ ජාඇළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

  ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. , කළුබෝවිල ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහනුවර ජාතික රෝහලෙන් වන අතර මේ අතර ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් සහ දැනුවත් කිරීම් අදත් ක්‍රියාත්මක කෙරුණා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධාන කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදීයි.

ඊට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිසක් එක්වුණු අතර මෙහිදී නිවාස සහ වෙනත් පරිශ්‍ර ධූමායනය ද සිදුකෙරුණා.