මතුගම සඳුමිණි බිලිගත්තේ, ඩෙංගු ද? එන්නත ද? - ආන්දෝලනාත්මක කතාවක් මෙන්න

Report

සඳුමිණි දිව්‍යාංජලී කුඹලාතර 23 හැවිරිදි වියේදී අපෙන් සමුගෙන යන්නේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ඇඟ කිලිපොළා යන සැකයක් මතු කරමිනි.

උණ රෝගය වැලඳුණිද, මරණයේ සේයාවකුදු නොමැති ශරීරයක් දරාගනිමින් ඉකුත් සිකුරාදා රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර පරිශ්‍රයට පාගමනින් විත් ඇතුළු වූ ඇය ඉන් පැය දෙකක පමණ ඇවෑමෙන් (එහි නේවාසික ප්‍රතිකාර ලැබීම පවා අනවශ්‍ය බවට වූ වෛද්‍ය මතය අනුව) රෝහලෙන් පිටවයෑමට සූදානම් වන ඇසිල්ලේ ඒ සා අසාධ්‍ය රෝගියකු බවට පත්වූයේ කෙසේද? නමටම ගැළපෙන රූ සපුවකින් හෙබි සඳුමිණි නම් මේ චන්ද්‍රකාන්ති මාණික්‍යය, උණ රෝගයට රටේ හොඳම ප්‍රතිකාර ඇතැයි පැවසෙන රෝහලේදී මෙලෙස මිලිනව ගියේ මන්ද?

රට හමුවේ ඇති පැනය, රටක් අත්විඳින කම්පනය මෙන්ම, රටේ දේශපාලන කතිකාවද බවට පත්ව ඇත්තේ සඳුමිණිගේ ඒ අකල් වියෝවය. ඔන්ඩැන්සෙට්‍රෝන් නම් වමනය සහ ක්ලාන්තය නවතන එන්නත පිළිබඳ ලොමුදැහැ ගැන්වෙන පැනයක් මතුක‍ර ඇත්තේ ඒ අකල්‍ වියෝවය. ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බරපතළ විවේචන මතුකරනුයේ ඒ අකල් වියෝවය. එමතු නොව සෞඛ්‍යය සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීමත් එය ක්‍රියාවට නැංවීමත් අතර ඇති කාල පරාසයේ මරණීය ප්‍රමාදය පෙන්වා දෙනුයේ ඒ වියෝවය.

දෛවෝපගත කරුණ වනුයේ වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සත්, මේ සඳුමිණිත් එකම පාසලක ඒ ඒ ඒ කාලවලදී ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුන්වීමය. නලින්ද ජයතිස්ස යනු මතුගම සී. බඩ්ලිව්. ඩබලිව්. කන්නන්ගර මැදි විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු මෙන්ම අධ්‍යාපනයද එයට සමගාමීව විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකද නිරත වෙමින් සුවිශේෂී අනාගතයක පෙරනිමිති පාසල් කාලයේදීම දැක්වූ අයෙක් විය. සඳුමිණි කන්නන්ගර මැදි විදුහලේ ශිෂ්‍යාවක් ලෙසින් පාසල් වයසේදීම ජාත්‍යන්තර මට්ටමට යෑමට පවා වරම් ලැබූ කන්නනගර විදුහල් මාතාවගේ දියණියකි. ඒ 2016 වසරේ තායිලන්තයේ පැවැති ආසියානු බාලදක්ෂ ජම්බෝරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට ඇතුළත් වීමට සමත්වෙමිනි. ඇය ජනාධිපති බාලදක්ෂිකාවක් මෙන්ම විදුහල් වාද්‍ය වෘන්දයේ නායිකාවද වූවාය. ඇය මියයන විට පුද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර සහ තොරතුරු කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන අතරතුර නාවින්න ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවයේද නිරතව සිටියාය.

නමුත් දෛවෝපගත ලෙසින්, ඉකුත්දා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ‘‘වමනය සහ ක්ලාන්තය පාලනය කිරීමට දෙන එන්නත හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලේදී මියගිය බව පැවසෙන දෙදෙනා අතර 23 හැවිරිදි මතුගම ප්‍රදේශයේ තරුණියක් යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට පැවසීමට සිදුවූයේ තමන්ගේ ඇස් පෑදූ විදු පියසෙන්ම මතුවූ තවත් දීප්තිමත් චරිතයක අකල් අවසානය ගැනය.

කිසිවෙකුත් කිසිසේත් නොසිතූ මොහොතක සඳුමිණි යන්නට ගිය හැටි පුදුමෙනුත් පුදුමය. ඉකුත් බ්‍රහස්පතින්දා වනතුරුත් ඉහින් බහින් රෝගයක් නොතිබූ මේ තරුණියගේ ජීවිතයේ තීරණාත්මක දිනය බවට පත්වනුයේ 12 වැනි සිකුරාදාය. එදා උදෑසන ඇය සිය මව අමතා තමන්ට උණ රෝගය වැලඳී ඇතැයි පවසන්නීය. ඒ වන විට ඇගේ සේවා පරිශ්‍රයේද වයිරස් උණ තත්ත්වයක් පැතිර යමින් තිබූ නිසා තමන්ටද එය වැලඳෙන්නට ඇතැයි ඇය සිතුවාය. තමන්ව ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට මතුගම සිට කොළඹට තකහනියක පැමිණීමට අනවශ්‍ය බවද ඇය මවට පැවසුවාය. නමුත් එහිදී සඳුමිණිගේ මව ඉරේෂාගේ හිතට යම් අවුලක් දැනුණි.

ඇය කොළඹට ආසන්නයේ වෙසෙන සඳුමිණිගේ හොඳම යෙහෙළිය අමතා, තම දියණිය වෛද්‍යවරයකු වෙත රැගෙන යා හැකිදැයි ඇගෙන් විමසා සිටියාය. ඒ සැණින්ම සඳුමිණිගේ යෙහෙළිය සිය ස්වාමිපුරුෂායද සමග පැමිණ සඳුමිණිගේ නවාතැන ආසන්නයේම වූ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇයව රැගෙන ගියේය. එහිදී, කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හමුවට සඳුමිණි යොමු කිරීමේදී මේ වැලඳී ඇත්තේ වයිරස් උණක් නොව, ඩෙංගු බවට රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා සැක පහල කළේය. අදාළ ලේ පරීක්ෂණ සඳහාද ඇයව යොමුකළේය. පැයක් ගතවීමට මත්තෙන් එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබිණි. ඇයට ඩෙංගු වැලඳී ඇති බව තහවුරු විය. මෙම රෝග තත්ත්වය දැනගත් විගස සඳුමිණිව රෝහල් ගතකළ යුතු බවට ඇගේ පවුලේ උදවිය සහ මිතුරෝ තීරණය කළහ.

‘‘අයි.ඩී.එච්. තමයි හොඳම. සඳුමිණීව එහෙට අරගෙන යමු’’ එය සියල්ලන්ගේ මතය විය.

සිය මිතුරිය සහ එම මිතුරියගේ සැමියා සඳුමිණි කැටිව අයි.ඩී.එච්. රෝහලට යන විට සිකුරාදා රාත්‍රි 12ට ආසන්න වී තිබිණි. එහිදී ඇයව තාවකාලික ප්‍රතිකාර ඒකකයකට ඇතුළත් කර සේලයින් දෙන අතරවාරයේ වමනයට දෙන එන්නතද සේලයින් සමගම ශරීර ගත කිරීමට යෙදුණි. නමුත් ශරීරයේ උණ තත්ත්වයක් ප්‍රකට නොවීය. මේ අතර සඳුමිණිගේ රුධිර පට්ටිකා ප්‍රමාණය මැනෙන පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව 250,000 ඉක්මවා අගයක් සටහන් වූ බැවින්, අවදානමක් නොමැති බව පවසා ඇයට රෝහලෙන් පිටව යෑමට හැකි බවට වෛද්‍යවරු නිර්දේශ කළහ. ඒ වන විට වේලාව අලුයම 1ට පමණ විය. දිගටම රුධිර පරීක්ෂාවේ යෙදෙන ලෙසද, යම් ලෙසකින් 150,000ට වඩා අඩු පට්ටිකා අගයක් සටහන් වුවහොත් නැවත පැමිණ රෝහල්ගතවන ලෙසද උපදෙස් ලැබිණි.

ඒ අනුව සඳුමිණිගේ ‘ටිකට් කපා’ ඇයව සිය නිවසට රැගෙන යෑමට ඇගේ යෙහෙළිය සැරසුණි. එවිට සඳුමිණිට යළි යම් උණ ගතියක් දැනෙන්ට විය. ඔවුන් මේ බැව් එහි වූ හෙදියකට පැවසූ විට, මෙහි පැමිණීමට පැය 6කට පමණ පෙර උණට ගත් පැරසිටමෝල්වල බලය අඩුවීම හේතුවෙන් එසේ උණ එන්නට ඇතැයිද, එය සාමාන්‍ය තත්ත්වයක් බවද හෙදිය පවසා තිබිණි. ඒ අනුව ඔවුන් ඇයව රැගෙන රෝහලෙන් පිටව යෑම පිණිස රෝහල් කොරිඩෝවට පැමිණෙද්දී සඳුමිණි පැමිණියේ පාගමනින්ය. අවම වශයෙන් රෝද පුටුවක් හෝ ඇයට අවශ්‍ය නොවීය. එසේ පැමිණි ඇය රෝහලෙන් පිටව යෑමට රථය පැමිණෙන තුරු රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට පුටුවක අසුන්ගෙන සිටින විට, බලා සිටිද්දී මෙන් ඇගේ ශරීරයේ උණ තත්ත්වය වැඩිවන්නට විය. තමාට සීතල දැනෙන බව සඳුමිණි පැවසූ විට ඇගේ යෙහෙළිය එතැනම ඇගේ ශරීරය ඇඳ ඇතිරිල්ලකින් ආවරණය කළාය. තමන්ට පිපාසය දැනෙන බැවින් බීමට වතුර දෙන මෙන් සඳුමිණි ඉල්ලා සිටියාය.

වතුර පානය කළද විනාඩියක් යෑමට මත්තෙන් සිය උගුර වේලුම්කන බව සඳුමිණි මිතුරියට පැවසුවාය. මිතුරිය හනිකට දිවගොස් මෙම තත්ත්වය ගැන වාට්ටුවේ හෙදියකට දැනුම් දුන් විට එම හෙදියද කලබල වූයේ මෙහි යම් අස්වාභාවික තත්ත්වයක් ඇති බව දැනුණු නිසා විය යුතුය. රෝහලෙන් ටිකට් කපා පිටව යෑමට සිටි සඳුමිණි නැවතත් වාට්ටුවට ඇතුළත් කිරීමට යෙදුණි. ඒ වන විට වාට්ටුව තුළට රැගෙන යෑම සඳහා රෝද පුටුවට නංවාගැනීමටද නොහැකි තරම් ඇගේ ශරීරය අඩපණ වී තිබිණි. රෝහල් ඇඳට නංවන විටද සඳුමිණි උණ වලිප්පුවෙන් මෙන් ගැහෙන්නට විය. වේලාව සෙනසුරාදා අලුයම 3ට පමණ වන්නට විය. ෆැරන්හයිට් අංශක 105ක් දක්වා උණ උග්‍ර වී තිබිණි. ඇගේ හෘද ස්පන්ධනය 180ක් විය. හෘද ස්පන්ධනය මනින යන්ත්‍රවල තිරයේ රතු පැහැය දැක්විණි. ඒ සමගින් ඇගේ හෘ‍ද ස්පන්ධනය වේගයෙන් පහළ වැටෙන්නට ද විය. ඇය නැවත වමනය කරන්නට විය.   

එහිදී ‘‘මෙයාට වමනෙට දෙන බෙහෙත ඇලර්ජි වගේ. ඒ නිසා ඒක ආයෙ දෙන්න බැහැ’’ යැයි හෙදියක් පවසා තිබිණි. මඳ වේලාවකින් සඳුමිණීට නින්ද ගියේය. ‘‘මෙයා නෝමල් වෙයි. ඔයාලා ගිහින් එන්න’’ යැයි හෙදියක ඇගේ මිතුරියට පැවසුවාය.

ඒ අනුව මිතුරිය සහ ඇගේ සැමියා වාට්ටු පරිශ්‍රයෙන් එළියට විත් තවත් විනාඩි 45කින් පමණ නැවත එහි ගියේය. ඒ වන විට සඳුමිණි සිටියේ අවසිහියෙන් මෙනි. ඇඟේ ශරීරයට සම්බන්ධ කර තිබූ එන්නත් කටු මෙන්ම ඊ.සී.ජී රැඳවුම් ආදියද ගැලවී ඇඳ මත විසිර තිබුණේ අවසිහියෙන් මෙන් ඇය දැඟලූ නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාද යන්න ඔවුනට අපහැදිලි විය. සඳුමිණි ඔවුනට යමක් කියන්නට හැදුවද ඕ..ඕ.. ශබ්දයක් හැර කිසිවක් ඇයට පිටකරගත නොහැකි විය. නැවත ඇය නින්දකට වැටිණි. අලුයම 5.30ට පමණ හෙදියක් ඇයට සේලයින් එන්නත් කටුවක් ශරීරගත කළේය. එන්නත් කටුවලට වෙනදා බියක් දක්වන සඳුමිණි මෙහිදී කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටීම ඇගේ යෙහෙළියට යම් අමුත්තක් දැනවීය. ටික වේලාවකට පසු වෛද්‍යවරයෙක් පැමිණ, වෛද්‍ය අවශ්‍යතාවක් මත, මුණින් අතට මෙන් නිදාසිටි සඳුමිණිව උඩුබැලි අතට හැරවීය. ඒ සැණින් සඳුමිණිගේ මුහුණ දුටු වෛද්‍යවරයා දැඩි ලෙස කලබල විය. දැඩි සත්කාර එක්කයට ඇතුළත් කරවීමට තරම් හෝ ඇගේ ශරීර තත්ත්වය ස්ථාවර නොවන බව කියැවිණි. නමුත් වහාම ඇගේ ඇඳ වටා රොක්වූ වෛද්‍යවරු මෙන්ම හෙදියෝද හෘද සම්බාහන ප්‍රතිකාර ආදිය දෙමින් හැකි ඉක්මනින්ම ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරවීමට කටයුතු කළහ. එවිට සෙනසුරාදා දිනට හිරු උදාවී තිබිණි. නමුත් එසේ දැඩි සත්කාරයට ඇතුළත් කළ සඳුමිණි පුරා පැය 22ක් පමණ මරු හා සටනක යෙදී ඉරිදා හිරු උදාවන විටම පාහේ දෙනෙත් පියාගත්තාය.

මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලැබී ඇති බැවින් මරණයට වෛද්‍ය හේතුව ඩෙංගු රෝගයද, නැතහොත් එන්නත ද එසේත් නැතහොත් වෙනත් හේතුවක් දැයි තවම නිසැකව කියනු නොහැකිය. නමුත් ඒ එන්නත දී පැය දෙකක පමණ කාලයක් තුළ වූ සිදුවීම් මාලාව දෙස බැලීමේදී ඒ මරණය හා එන්නතේ සම්බන්ධය ගැන ප්‍රබල සැකයක් මතුවීම වළකනු නොහැකිය. එය අපට පමණක් නොව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම එසේය. කොටින්ම සෞඛ්‍ය ඇමැතිවරයාටද එය එසේමය.

නමුත් මෙහිදී මතුවන බරපතළ අතුරු ගැටලු ඇත්තේය. ඒ අතර ප්‍රධාන වනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙකී ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් උද්ගතව ඇති අපහැදිලිතාව මත මෙය භාවිතයෙන් ඉවත් කරන මෙන් ඉකුත් සිකුරාදා රෝහල්වලට දැනුම් දුන් බව පැවසීමය. එසේ වුවද සඳුමිණිට අයි.ඩී.එච්. රෝහලේදී එම එන්නත දෙන්නේ සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන්ද පසුවය. එසේ නම් භාවිතයෙන් ඉවත් කළ එන්නතක් මේ තරුණියට දීම දරුණු අත්වැරැද්දකි. නැතහොත් සිදුව ඇත්තේ මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීම පිළිබඳ නිවේදනය සන්නිවේදනය වීමේ දරුණු අඩුපාඩුවකි. එවැනි එන්නතක් ශරීරගතවීම මරණීය ප්‍රතිඵල ගෙනදෙන තරම් භයානක විය හැකි නම්, එවැනි සන්නිවේදනයක් ප්‍රමාද වීම මරණීය ප්‍රමාදයක් නොවන්නේද? අපට සැලවන අන්දමින් මෙම එන්නත භාවිතයෙන් ඉවත්කිරීම පිළිබඳ නිවේදනය සමහරක් රෝහල් වෙත ගොස් තිබුණේ සඳුමිණිගේ අවසන් කටයුතු කළ ඉකුත් සඳුදා දිනයේය. තත්ත්වය එසේ නම් සහරාන්ගේ ප්‍රහාරය ගැන තොරතුර වාර්තා වීම ප්‍රමාදවීමත්, මෙම අත්හිටුවීමේ නිවේදනය ප්‍රමාදවීමත් අතර ප්‍රතිඵලයේ වෙනසක් නැත.  

සන්නිවේදනය මේ සා දියුණු යුගයක, සඳුමිණි දිව්‍යාංජලී නම් සොඳුරු යුවතිය රුදුරු ඉරණමකට ලක්වනුයේ මේ ආකාරයේ සන්නිවේදන ‘ඉබි ගමනක’ ප්‍රතිඵලයක් නිසා නම් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම බලධාරීන් හෙට සිට ටයි කෝට් වෙනුවට කොළ අතු ඇන්දාට කම් නැත. එසේම මේ මරණයට හේතුව එන්නතේ වැරැද්දක් නම් ඒ කොළ අතුද නැතිව උපන් ඇඳුමෙන්ම ඔවුන් සිටියාට කම් නැත. මේ අතර මෙම මරණය දේශපාලනික ‘මරු පහරවල්’ වෙනුවෙන් යොදාගන්නෝද සිටිය හැකිය. ඒ සියල්ලෝම මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දෙවැනි තැනට දැමූ නොමිනිසුන්ගේ කුලකයට වැටෙන්නෝය. ඒ සියලු නොමිනිස්කම් පරදවමින්, තමාගේ ඇස් පෑදූ පාසලේම ශිල්ප හැදෑරූ, තමාගේ ගමේම විසූ (සමහර විටෙක තමාව පාර්ලිමේන්තුවට යැවීමට ඡන්දය පවා භාවිත කර ඇති) තමාගේ පාසලේ සමකාලීනයන් වන මාපිය යුවළකගේ දියණියක වූ සඳුමිණිගේ මරණයේ සැබෑ හේතුව හෙළිකරගැනීම මෙන්ම ඉන් ඔබ්බට ක්‍රියාත්මක වීමේ විශේෂ වගකීමක් පමණක් නොව යුතුකමක්ද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සතුව ඇති බව මෙහිදී අවධාරණයෙන් සටහන් කළ යුතුය.