ළඳරු කිරි පිටි ආන්දෝලනාත්මක තීන්දුව - සමාගමකට බිලියන පාඩුවක්
ලොව ප්‍රමුඛ ආහාර නිෂ්පාදක සමාගම් වන ඩැනෝන් (Danone), නෙස්ලේ (Nestlé) සහ ලැක්ටාලිස් (Lactalis) ඇතුළුව බොහෝ සමාගම් විසින් ඔවුන්ගේ ළදරු කිරි පිටි නිෂ්පාදනවල ඇතැම් තොග ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙය සිදුවන්නේ චීනයෙන් සැපයුණු ARA oil (අරකිඩොනික් අම්ල තෙල්) නම් අමුද්‍රව්‍යය සීරියුලයිඩ් (cereulide) විෂයෙන් දූෂිත වී ඇති බව හෙළි වීම හේතුවෙනි.
සිංගප්පූරු ආහාර ඒජන්සිය (SFA) විසින් ඩැනෝන් සමාගමේ Dumex Dulac Stage 1 සහ Stage 2 නිෂ්පාදන (batch numbers 101575737 සහ 101570779) වහාම වෙළඳපොළෙන් ඉවත් කරන ලෙස ජනවාරි 30 වැනිදා නියෝග කළා. මෙය එරට ජනවාරි මාසයේදී සිදුවූ තුන්වන ඉවත් කිරීමක් වන අතර, දැනටමත් මෙම විෂය ශරීරගත වීමෙන් රෝග ලක්ෂණ පෙන්වූ දරුවන් තිදෙනෙකු වාර්තා වී තිබෙනවා (මෘදු රෝග ලක්ෂණ සහිතව).
අයර්ලන්තයේ නිෂ්පාදිත ඩැනෝන් සමාගමේ Aptamil, Nutrilon සහ Cow & Gate සන්නාම යටතේ නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව අයර්ලන්ත ආහාර සුරක්ෂිතතා අධිකාරිය (FSAI) තහවුරු කර තිබෙනවා. එක්තරා batch එකක් (Aptamil 1 From Birth First Infant Milk, 800g, EXP 31-10-2026) එංගලන්තය හරහා අයර්ලන්තයටත් ලැබී ඇති බවත් එය ඉවත් කර ඇති බවත් සඳහන්.
මෙම විෂය Bacillus cereus බැක්ටීරියාව මගින් නිපදවන එකක් වන අතර, එය ඉතා තාප ස්ථායීයි (උණුසුම් කිරීමෙන් විනාශ නොවේ). ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ වමනය, ඔක්කාරය, උදර වේදනාව සහ අතීසාරයයි. කිරි පානය කළ විනාඩි 30 සිට පැය 6ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වන අතර, සාමාන්‍යයෙන් දිනක් ඇතුළත සුව වේ. කෙසේ වෙතත්, ප්‍රතිශක්තිය අඩු දරුවන්ට බරපතල සංකූලතා ඇති විය හැකි බැවින් බලධාරීන් දැඩි අවධානයෙන් සිටිනවා.
මෙම සිදුවීම හේතුවෙන් ඩැනෝන් සමාගමේ කොටස් අගය පහත වැටී ඇති අතර, එය 2025 වසරෙන් පසු වාර්තා වූ අවම මට්ටමකට පත්ව තිබෙනවා. සමාගම්වලට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ගණන් බලා තිබෙනවා.
මෙම ගෝලීය ඉවත් කිරීම් 2025 දෙසැම්බර් සිට ආරම්භ වී 2026 ජනවාරි මාසයේදීත් දිගටම පවතින අතර, යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය (EFSA) විසින් සීරියුලයිඩ් මට්ටම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
අවධානය යොමු කරන්න: ළමුන්ට මෙම නිෂ්පාදන භාවිතා කරන්නේ නම්, batch අංකයන් හා expiry dates පරීක්ෂා කර බලා අදාළ නම් භාවිතය නවත්වා, වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රටවල් රැසක ආහාර ආරක්ෂණ බලධාරීන් මෙම නිෂ්පාදන ඉවත් කිරීම් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබෙන බැවින්, ඔබේ ප්‍රදේශයේ බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගන්න.