මැණික් මල්ලක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට
කටුනායක ගුවන් තොටුපොළේදී චීනය බලා මැණික් තොගයක් රහසිගතව රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 සහ 39 අතර පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු බව සඳහන්.
ඔවුන් ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නගරය බලා පිටත්ව යාමට නියමිත චීන ගුවන් සේවයේ සී.ඒ.-426 දරන ගුවන් යානයෙන් ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
රේගු නිලධාරීන්ට මෙම දෙදෙනා පිළිබඳ සැකයක් මතු වීමෙන් අනතුරුව සිදු කළ සවිස්තරාත්මක පරීක්ෂාවකදී, ගුද මාර්ගය තුළ සහ ගමන් මල්ල තුළ සඟවා තිබූ මැණික් තොගයක් සොයා ගැනීමට හැකිවිය.
අත්අඩංගුවට ගත් මැණික් තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් පමණ වන බව වාර්තා වන අතර, එහි නිල් මැණික්, පද්මරාග, කිරින්චි, රතු කැට, කනක, සැවරයිට්, වෛරෝඩි, චන්ද්‍රකාන්ත, තෝරමල්ලි සහ ආරනූල් ඇතුළු විවිධ වර්ගවල කැරට් 756ක් බරැති මැණික් කැට 390ක් ඇතුළත් බව සඳහන් වේ.