නායයෑම් ගැන අලුත්ම වාර්තා හරි භයානකයි - රටේ භූමියෙන් 30% ක් නාය යෑමේ අවදානමේ [VIDEO]
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අද (13) හෙළිකළ නවතම දත්ත අනුව, මේ වන විට දිස්ත්‍රික්ක 14ක ආවරණය වන පරිදි රටේ සමස්ත භූමි ප්‍රදේශයෙන් 30%ක් (වර්ග කිලෝමීටර් 20,000කට ආසන්න ප්‍රමාණයක්) නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.
මෙම අනතුරුදායක ප්‍රදේශවල රටේ සමස්ත ජනගහනයෙන් 34%ක් (එනම් ජනතාව මිලියන 7.5කට ආසන්න සංඛ්‍යාවක්) පදිංචිව සිටින බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
- රටේ මුළු භූමි ප්‍රමාණය: වර්ග කිලෝමීටර් 67,240
- නායයෑම් අවදානම් ප්‍රදේශ: වර්ග කිලෝමීටර් ~20,000 (30%)
- එම ප්‍රදේශවල ජනතාව: රටේ ජනගහනයෙන් 34%
චන්ද්‍රිකා ඡායාරූප හා ගුවන් ඡායාරූප භාවිතයෙන් මෑතකදී හඳුනාගත් නායයෑම්:
- මීටර් 10ට වැඩි නායයෑම්: 1,241ක්
- නිවාසවලට බලපෑම් නොමැති: 919ක්
- නිවාසවලට හානි/අවදානම් ඇති: 322ක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු; නායයෑම් ස්ථාන පරීක්ෂා කිරීමට ඉල්ලීම්: 2,710ක් මේ වන විට පරීක්ෂා කළ: 589ක්
ආචාර්ය වසන්ත සේනාධීර මහතා පෙන්වා දුන්නේ, මේ වන විට පුද්ගලයින් 15,000කට අධික සංඛ්‍යාවක් අවදානම් ස්ථානවල සිටින බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔවුන්ට ඉවත්වීමේ නියෝග දැනුම්දී ඇති බවත්ය.
ජනතාවට අනතුරු ඇඟවීම
- පස් කණ්ඩි කඩාවැටීම් හේතුවෙන් මීට පෙර බොහෝ ජීවිත අහිමි වී ඇති බැවින් ඉතා සැලකිලිමත් වන්න.
- අනවසර ගොඩනැඟිලි හෝ අනතුරුදායක බෑවුම් අසල නිවාසවල සිටින අය NBRO උපදෙස් කඩිනමින් පිළිපදින්න.
- අනතුරු ඇඟවීම් නොසලකා හැරීමෙන් ජීවිත හානි සිදුවිය හැකි බැවින් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන්න.
මේ අතර, දිගින් දිගට පවතින අධික වැසි හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසක නායයෑම් අවදානම ඉහළම මට්ටමේ පවතින බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දිගටම අනතුරු අඟවමින් සිටී.