කොවිඩ් හේතුවෙන් මෙරට ඇති වූ කවුරුත් නොසිතූ භයානක තත්වය..

covid19 deaths infection lockdown quarantine
By Sewvandhi Aug 27, 2021 08:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 7000 සිට 8000 පසුකර යාමට ගත වී ඇත්තේ දින 5ක පමණ කාලයක්. කොරෝනා මරණ 209ක් ඊයේ දිනයේ දී වාර්තා කෙරුණු අතර, එය මෙරටින් දිනක දී වාර්තා වූ වැඩි ම මරණ සංඛ්‍යාව යි.

මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 8157ක් වාර්තා වනවා. එසේ ම ඊයේ දීනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4602කු වාර්තා වූ අතර, ඉන් පස් දෙනෙකු විදේශ ගත ව සිට පැමිණි පුද්ගලයින්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 12,370 දක්වා ඉහළ යනවා.

මේ අතර, සිය 19 වන ඡන්ම දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොරෝනා ප්‍රතිකාර වෙනුවෙන් ලබා දීමට කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයකු ඊයේ කටයුතු කර තිබෙනවා. ඉදිරියේ දී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වාදීම සදහා සැලසුම් කර ඇති බවත් ලොව රටවල් රැසක එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

එසේ ම, සංචරණ සීමා පැනවීම තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නො හැකි අතර, ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේ දී එය ඔප්පු කර ඇති බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්චාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වසංගතය පාලනය කිරීමට විසදුම, රට වසා දැමීම පමණක් ම නො වන බවයි. නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 59,621 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 626ක් ගත වූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම,මෙරට ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (26) දිනයේ ද පුද්ගලයින් 350,292 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදීමත් සමග මාත්‍රා දෙකම ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් ගණන 6,464,296 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එමෙන්ම ඊයේ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 33,799 දෙනෙකුට ලබාදී තිබුණි. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් එක් කෝටි විසි දෙලක්ෂ පනස් පන් දහස් එකසිය විසි එක දෙනෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර එය ජනගහනයෙන් 57%ක ප්‍රතිශතයකි.

සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ගවල මාත්‍රා එක් කෝටි අසූහත් ලක්ෂ දහනවදහස් හාරසියදාහතක් මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා මේ දක්වා භාවිතකර තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now