පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා විසින් වත්මන් ආර්ථික හා වෙළෙඳපොළ ව්‍යුහය තුළ ක්‍රමවත් ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකර මෙරටට අඛණ්ඩව ඉන්ධන සැපයීම කිසිසේත්ම කළ නොහැකි බවත්, අතීතයේදී විදේශීය සමාගම් සමඟ එළඹ ඇති අහිතකර ගිවිසුම් නිසා අත්තනෝමතික ලෙස මිල තීරණය කිරීමට රජයට නීතිමය ඉඩක් නොමැති බවත් හෙළි කළ බව සඳහන්.
ඔහු මේ බව කියා ඇත්තේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන 'DGI Talk' සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතරව මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට එක්ව සිටින විදේශීය සමාගම් සමඟ පෙර පැවති රජය වසර 20 ක කාලයකට අත්සන් කර ඇති දීර්ඝකාලීන ගිවිසුම්වල පවතින ගැටලු සහගත තත්ත්වය පෙන්වා දී තිබෙනවා.
"මෙම සමාගම් සමඟ ඇති ගිවිසුමේ 18 වැනි පිටුවේ අංක 02 ඇමුණුම යටතේ පැහැදිලි මිල සූත්‍රයක් තිබෙනවා. ඒ අනුව උපරිම මිල සහ අවම මිල තීරණය වෙනවා. උපරිම මිල යටතේ පිරිවැයට අමතරව සියයට 0 සිට 4 දක්වා ලාභයක් තබාගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. රජය මැදිහත් වී එම මිල සූත්‍රයෙන් බැහැරව අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට නියෝග කළහොත්, එමඟින් සමාගම්වලට සිදුවන පාඩුව මාස තුනක් ඇතුළත රජය විසින් අදාළ සමාගම් වෙත ගෙවා පියවිය යුතු බවට 18:2 වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. 2003 දී IOC සමාගම පැමිණි පසු 2006 දී ද මෙවැනිම සිදුවීමකින් රුපියල් බිලියන 11 ක වන්දියක් ඉල්ලා සිටියා. ඒ නිසා අපට හිතුමනාපයට මිල නියම කර පාඩුව රජය පිට පැටවීමේ හැකියාවක් නෑ."
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවලදී පෞද්ගලික සමාගම් පාඩු ලැබීම වැළැක්වීමට ඉන්ධන බෙදාහැරීම සීමා කරන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසල තාවකාලික පෝලිම් හටගන්නා බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත.
"පෞද්ගලික සමාගම් මෙරටට පැමිණියේ ව්‍යාපාර කිරීමටයි. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගොස් පාඩු සිදුවන විට ඔවුන් තෙල් නිකුත් කිරීම අඩු කරනවා. ඩීසල් වෙළෙඳපොළේ ඛනිජ තෙල් සංස්ථාවේ කොටස 60% ක්ව තිබියදී, සමාගම් සැපයුම සීමා කිරීම හේතුවෙන් අපගේ සැපයුම 78% ක් දක්වා ඉහළ දැමීමට සිදුවුණා. පෞද්ගලික සමාගම් බෙදාහැරීම අඩු කළ ප්‍රදේශවල ජනතාව ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් වෙත ඇදී ඒම නිසා පෝලිම් ඇතිවුණා. නමුත් සංස්ථාව දිගටම පාඩුව දරාගනිමින් ජනතාවට ඉන්ධන ලබා දුන්නා."
මේ අතර ලෝක දේශපාලනික හා යුද අර්බුද නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 75 සිට 139 දක්වා 85% කින්ද, ඔටෝ ඩීසල් බැරලයක් ඩොලර් 88 සිට 170 දක්වා 90% කට ආසන්න ප්‍රමාණයකින්ද ඉහළ ගිය බව දත්ත සහිතව පෙන්වා දුන් සභාපතිවරයා, රජය මෙරට මිල ගණන් ඉහළ දැමුවේ සියයට 43 ත් 45 ත් අතර ප්‍රතිශතයකින් පමණක් බව සඳහන් කර ඇත.
මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්
තවද ඔහු පැහැදිලි කර ඇත්තේ සැබෑ මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 495ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 424කට බවත්, ඒ අනුව සංස්ථාව ලීටරයකින් රුපියල් 71ක පාඩුවක් දරන බවත් ය.
එසේම ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 520ක් වන අතර, රජය ලබාදෙන රුපියල් 70ක සහනාධාරය අඩු කළද සංස්ථාව ලීටරයකින් රුපියල් 53ක පාඩුවක් විඳිමින් රුපියල් 397කට ඩීසල් අලෙවි කරන බවත් සභාපතිවරයා කියා ඇත.
මින් පෙර අවස්ථාවේදී ද රජය රුපියල් බිලියන 58 ක සෘජු සහනාධාරයක් ඉන්ධන වෙනුවෙන් වෙන්කළ අතර, ඉකුත් මාසයේදී ද රුපියල් බිලියන 41 ක් ඒ සඳහා ලබාදී ඇත.
එහිදී සපුගස්කන්ද පිරිපහදුව වසා දමා සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ තෙල් පිටරටින් ගෙන්වීමට ආර්ථික විශේෂඥයන් යනුවෙන් කියාගත් පිරිස් මීට පෙර බලපෑම් කළ බව සිහිපත් කළ ඒ මහතා, පිරිපහදුව ක්‍රියාත්මක කරවීම හේතුවෙන් ඉකුත් මාස 9 තුළ පමණක් මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන 417 ක (ඩොලර් 417,017,000) දැවැන්ත වාසියක් අත්කර ගැනීමට හැකිවූ බව හෙළි කර ඇත.
එමෙන්ම බොරතෙල් ගෙන්වා මෙරටදීම පිරිපහදු කිරීම ඔස්සේ විදේශ විනිමය ඩොලර් බිලියනයකට වඩා ඉතිරි කර දී තිබෙන අතර, ගුවන් යානා සහ නැව් සඳහා තෙල් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 500 කට අධික මුදලක් උපයා ඇති බවත් සඳහන් කළ බව වාර්තා වේ.
එමෙන්ම වසර 41 කට පසුව කිසිදු බැංකු අයිරාවක් හෝ පොලී ණය බරක් නොමැතිව ඉකුත් වසරේදී රුපියල් බිලියන 36 ක ශුද්ධ ලාභයක් ලැබීමට සංස්ථාව සමත් වූ බවත්, මෙම වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 28 ක ලාභයක් වාර්තා කර ඇති බවත් සභාපතිවරයා අවධාරණය කර ඇත.
එබැවින් මෙරට ජනතාවට ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයකට මුහුණ පෑමට සිදුනොවන බවට සහතික වූ සභාපතිවරයා, එළඹෙන වසරේ මැද භාගය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර තහවුරු කර ඇති බව පැවසූ අතර සංස්ථාව සතුව පවතින ඉපැයීම් උපයෝගී කරගනිමින් රුපියල් බිලියන 46 ක ආයෝජනයකින් ධාරිතාව මෙට්‍රික් ටොන් 125,000 කින් ඉහළ නැංවීමේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම අරඹා ඇති බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ දෛනික ධාරිතාව බැරල් 50,000 සිට 100,000 දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් පැවසූ බව සඳහන්.