හිටිහැටියේම එක දවසින් කොවිඩ් දත්ත වෙනස් වේ..! හේතුව මෙන්න..?
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනාවෛරසය ආසාදිතයින් ගණන 431,519ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය මගින් යාවත්කාලීන කර තිබේ. ඊයේ (අගෝස්තු 30) උදෑසන වන විට එම ගණන දක්වා තිබුණේ 426,169ක් ලෙසය.
ඒ අනුව, ඊයේ දිනයේ ඊට එකතු වූ නව කොරෝනාවෛරස ආසාදිතයින් ගණන 5,350 දෙනෙකි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහා කර තිබුණේ, අගෝස්තු 24 වන දා සිට අගෝස්තු 27 වන දා දක්වා වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් ගණන මුළු එකතුවට එකතු කර ඇති බවය.
එමෙන් ම, අද දිනයේ කොරෝනාවෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන ද 371,992ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය මගින් යාවත්කාලීන කර තිබේ. ඊයේ උදෑසන විට එම ගණන දක්වා තිබුණේ, 357,598ක් ලෙසය. ඒ අනුව, ඊට එකතු වී ඇති සුවය ලැබූ නව පුද්ගලයින් ගණන 14,394කි.
ඒ හේතුවෙන්, එක් දිනක් තුළ නව ආසාදිතයින් 5,350ක් ද සුවය ලැබූ පුද්ගලයින් 14,394ක් කොරෝනා පිළිබඳ ජාතික දත්ත පද්ධතියට එකවර එකතුවීම පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ,
වසංගතය ආරම්භ වූ මුල් අවස්ථාවේදී ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පමණක් භාවිත කළ ද මේ වන විට ඒ සඳහා බහුලව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ භාවිත කරන බවය. පී.සී.ආර්. පරීක්ෂණ මෙන් නොව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පිළිගත් රසායනාගාරවල පමණක් නොව කුඩා රසායනාගාර ඇතුළු බොහෝ ස්ථානවල සිදු කරන බව ඔහු පැවසීය. බොහෝ ස්ථානවල එලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී එක් දිනක් තුළ වසංගත රෝග විද්‍යා ඒකකයට දත්ත ලැබෙන ක්‍රමවේදයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය.
"ගොඩාක් පොසිටිව් වෙනවා තැන් තැන්වල. රැපිඩ් ඇන්ටිජන් කරන්නේ ලෝකල් ලෙවල් එකෙන් නේ. ලැබ් එකකින් එක තැනකින් කරන එක නෙමෙයි නේ ප්‍රශ්නේ. ඉස්සර එහෙම නෙමෙයි අපි ඩයග්නෝස් එකට පාවිච්චි කළේ, පී.සී.ආර්. එක විතරමයි මුලින් ම. එතකොට කිසි ම ගැටලුවක් නෑ. ලැබ් එකෙන් කෙළින් ම අපිට ඩේටා ඉන්ෆොමේෂන් ගන්නවා, අපිට ඒක හොයන්න පුළුවන්, ඒ ඔක්කෝ ම තියෙනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ රැපිඩ් ඇන්ටිජන් එකනේ අපි බහුලව ම පාවිච්චි කරන්නේ. එක්සිට් පී.සී.ආර්. එකටයි අනිත් හැම දේට මත්. දැන් බහුලව ම සිද්ධ වෙන්නේ රැපිඩ් ඇන්ටිජන් එක. එතකොට රැපිඩ් ඇන්ටිජන් කියන එක අද හැම තැනක ම කරනවා. පිළිගත්තු ලැබ්වල විතරක් නෙමෙයි, පොඩි පොඩි ලැබ්වලත් කරනවා, සමහර ජීපී ස්ටේෂන්ස්වලත් කරනවා. හැම තැනක ම කරනවා. එතකොට හැම තැන ම ලැබ්වල ගොඩාක් කරන හින්දා අපට එක දවසේ දත්ත එහෙ ම එන ක්‍රමවේදයක් නැහැ."
ඔහු පෙන්වා දුන්නේ, පිළිගත් රසායනාගාරවල සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලබා දිය යුතු බවට නීතියක් තිබුණ ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල සඳහා එවැන්නක් නොමැති බවය. ඒ හේතුවෙන් එම ප්‍රතිඵල පමා වන බවත් එම ප්‍රතිඵල දෛනිකව ලබා දීම අපහසු බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන් ම, ඇතැම් පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තමන් ආසාදිතයෙකු බවට තහවුරු වුව ද එය එම අවස්ථාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් නොදී පසුව දැනුම් දීම හේතුවෙන් ද සංඛ්‍යා ලේඛනවලට ආසාදිතයින් ඇතුළත් කිරීම ප්‍රමාද වන බව ගිනිගේ මහතා පැවසීය. එබැවින් දෛනිකව එම දත්ත යාවත්කාලීන කිරීම ප්‍රයෝගිකව අපහසු බවත් එලෙස ප්‍රමාද වී ලැබෙන දත්ත තහවුරු කරගෙන දින තුන හතරකට වරක් ජාතික දත්ත පද්ධතියට ඇතුළත් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
"දැන් අද වෙනකොට සමහර ජීපී ලා ඒ ගොල්ලන්ගේ ළඟට එන ලෙඩ්ඩුන්ටත් කරනවා. එතකොට දැන් මේක ලොකු ගාණක් තියෙනවා. දෛනිකව අපිට මේක වාර්තාවීමක් කරන්න අමාරුයි. හුඟක් ඒවා පරක්කු වෙලා එන ඒවා. මිනිස්සුත් මෙහෙ ම කරනවා, පොසිටිව් වුණා ම සද්ද නැතුව ඉන්නවා කාටවත් කියන්නේ නැතුව. එතකොට මේවා ජාතික දත්ත පද්ධතියට ආවට ගියාට දාන්න බැහැනේ. තහවුරු කරල නේ දාන්න ඕනේ. මිනිස්සුත් කරන්නේ සමහර ප්‍රයිවෙට් ලැබ්වල කරන ඒවා, රිපෝට් එක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. එතකොට එයාට නිවාඩු ගන්න ඕනේ නම්, එම්.ඕ.එච්.ට දන්වන්න එපැයි. එතකොට තමයි මතක් වුණා ම එම්.ඕ.එච්.ට දැනුම් දෙන්නේ. එහෙම නැත්නම් අමාරු වැඩි නම් මේගොල්ලෝ එම්.ඕ.එච්.ට කියනවා. එතකොට සමහර ටෙස්ට් කරපු දවසයි, ඒගොල්ලෝ අපේ එම්.ඕ.එච්.ට දන්නවපු දවසයි අතරේ අනිවාර්යෙන් ම ගැප් එකක් තියෙනවා."
මේ වන විට පවතින සංකීර්ණ තත්ත්වයත් සමග ද දත්ත ප්‍රමාද විය හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ, පෞද්ගලික අංශයෙන් ද පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනා ගැනෙන ආසාදිතයින් ගණන විශාල ලැයිස්තුවක් ලෙස ලැබෙන බවත් එලෙස හඳුනා ගන්නා ආසාදිතයින් අදාළ පරීක්ෂණය සිදු කළ රසායනාගාරය ඇති ප්‍රදේශයේ නොවීම හේතුවෙන් ඇතැම් විට ඔවුන් දුරකතන මගින් සම්බන්ධ කර ගැනීමට අපහසුතා ඇති බවත්ය.
කොරෝනාවෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 14,394ක් වාර්තා වීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා එහිදී කරුණු පැහැදිලි කළේය. ඔහු පෙන්වා දුන්නේ, එම ගණන එක් දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටවූ ආසාදිතයින් නොවන බවය. එම ආසාදිතයින්ගෙන් වැඩි ගණනක් නිවෙස්වල සිට ප්‍රතිකාර ලැබූ පිරිස් බවත් ඒ අනුව දින කිහිපයක් ඇතුළත සුවය ලැබූ ආසාදිතයින් ගණනක් මෙලෙස දත්ත පද්ධතියට එකතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙර රෝහල්වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා සුවය ලැබූ ආසාදිතයින් ගණන දෛනිකව ලබා ගත්ත ද නව ක්‍රමවේදය අනුව නිවෙස්වල ප්‍රතිකාර ලබා සුවය ලබන ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබා ගැනීම අපහසු කාර්යයක් බව ගිනිගේ මහතා පැවසීය.
"අලුත් සිස්ටම් එක යටතේ සිම්ප්ටම්ස් නැති, අමාරු නැති අය ගෙදර නේ ඉන්නේ. හෝම් බේස් සිස්ටම් එක එම්.ඕ.එච්. ලෙවල් එකේ හැම දා ම කට්ටියක් ඇතුළු වෙනවා. ඩිස්චාර්ජ් වෙනවා. ඒකත් අර විදියට ඉස්පිරිතලෙකින් ලිස්ට් එක ගන්නවා වගේ හැම දා ම ගන්න විදියක් නැහැ නේ. එතකොට අර හෝම් බේස් එකේ ඩිස්චාර්ජස් ටික තමයි ඔය. නැත්නම් රෝහල්වලින් ඩිස්චාර්ජ් වෙච්ච අය නෙමෙයි ඔය අද දෙළොස් දාස් ගාණක් එක පාර ඇඩ් කළේ."
විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, කාලීනව එම දත්ත ලබාගෙන දින තුන හතරකට වරක් දත්ත පද්ධතිය මෙලෙස යාවත්කාලීන කරන බවය. එමෙන් මේ, ඔහු අවධාරණය කළේ පද්ධතිය තුළට වාර්තා නොවන ආසාදිතයින් ද සිටිය හැකි බවත් එය බැහැර කළ නොහැකි බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |