වහාම කොවිඩ් පරීක්ෂණවලට යොමු වන ලෙස සෞඛ්‍ය අංශයෙන් පිරිසකට අනතුරු ඇඟවීම්
ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයට සහභාගීවී මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස කඩිනමින් කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ පවසති.
එම සම්මේලනයට සහභාගීවූ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයින් ලෙසට තහවුරු වී ඇත. අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ පසුගියදා පැවැති බෞද්ධ සම්මේලනයට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ගිහි සහ පැවිදි 30ක පමණ පිරිසක් සහභාගි වී තිබුණි.
එය අවසන්වී යළි පැමිණීමේදී එරටදී සිදුකළ PCR පරීක්ෂණවලදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබුණි. පිරිස ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු සිය නිවෙස් කරා ගමන් කර ඇති අතර මහනුවර ප්‍රදේශයෙන් ඊට සහභාගී වූ හිමිනමක් සහ ගිහියෙක් සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවිය. එහි වාර්තා අනුව එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත සුභසිංහ මහතා,
"අප්‍රිකානු ප්‍රහේදය ලංකාවට ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දූත ගමනට සහභාගී වූ සියලුම ගිහි සහ අපේ ස්වාමින්වහන්සේලා ඉන්නතැනම ඉන්න. ළඟම ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මේ පිළිබඳව දැනුම් දෙන්න. නැවත අත්‍යවශ්‍යම PCR පරීක්ෂණයක් කරන්න ඕනේ."