බස්නාහිරින් ගිය 425කට ගාල්ලේදී ඇස්ට්‍රාසෙනෙකා 2 මාත්‍රාව දී ඇති බව හෙළිවෙයි.

Corona Galle Astrosenika vaccines
By Aruna Jun 27, 2021 09:11 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ඇස්ට්‍රාසනෙකා 2 වැනි මාත්‍රාව ලබාදුන් 632 ක පිරිසෙන් 425 දෙනෙකු ම බස්නාහිර පළාතෙන් පැමිණි අය බවට අනාවරණය වී තිබේ.

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 05 සහ 07 යන දිනවලදී මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ.

එලෙස එන්නත් දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන්නැයි, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට පසුගිය 14 වනදා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, එම දින දෙකේ කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණ ඇතැයි, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුවයි.

මහේස්ත්‍රාත්වරයා එදින වැඩිදුරටත් නියෝග කළේ, උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණ එන්නත්වලින් ගබඩා කළ හා ඉතිරි වූ එන්නත් ප්‍රමාණයන් පිළිබඳ විස්තර මෙන්ම එදින එම ස්ථානයේ CCTV දර්ශන සියල්ල ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතරමැදි පුද්ගලගයකුගේ දුරකතන වාර්තා ලබා දෙන්නැයි ද අදාළ දුරකතන සමාගමට මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළේ ය.

මේ අතර අවිධිමත්ව කොවිඩ් එන්නත් දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් පසුගිය දා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ද පසුගිය 9 වනදා ස්ථාන මාරු කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha