කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව දීමට තීරණය කරයි. ලැබෙන අය සහ දිනය මෙන්න

By Sewvandhi Aug 28, 2021 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිර්දේශ ලබා දී ඇති බැවින් මෙරට තුළ නොවැම්බර් හා දෙසැම්බර් වන විට බරපතළ රෝගී තත්ත්වය පසුවන අයට covid-19 මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා ඖෂධ සංගමය සභාපති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි

එමෙන්ම,මෙරට ඉලක්කගත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

“අපි මූලිකව අවුරුදු 30ට වඩා වැඩි අයට එන්නත් ලබාදීමට තීන්දු කළා. ඊට පසු අවුරුදු 18 දක්වා දීර්ඝ කළා. එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුවෙන් පාසල් යන ළමයින්ට මේ එන්නත් ලබාදීම සඳහා නිර්දේශ කරලා තිබෙනවා. ඉදිරියේදී ඒ අය නිර්දේශය සම්පුර්ණ කරයි. මෙරට සම්පුර්ණ ජනගහනය ගත්විට අවුරුදු 30ට වැඩි පිරිස මිලියන 11.5ක්. ඊට පස්සේ 18 දක්වා වෙනකොට මිලියන 14.5ක් වෙනවා. මේ කියන පාසල් යන ළමයි කණ්ඩායම එකතුකළ විට මෙය මිලියන 17.5ක් දක්වා වැඩිවෙනවා. එතාකොට ලංකාවට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මිලියන 17.5 දෙකෙන් ගුණකළවිට මිලියන 35.5 පමණ ප්‍රමාණයක් වෙනවා. එතකොට මිලියන 22ක් අද වනවිට එන්නත් ලංකාවට ලැබිලා තිබෙනවා. තවත් අපිට මිලියන 13ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. එයින් මිලියන 8ක් සැප්තැම්බර් මාසය තුළ සයිනොෆාම් එන්නතෙන් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ දී තවත් මිලියන 4ක් ෆයිසර් එන්නතෙන් ලැබෙනවා.“

මේ අතර, ගතවූ දිනයේ පුද්ගලයින් 350,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. පුද්ගලයින් 33,571ක් සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇති අතර 316,806 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඒ අනුව, මෙරට පුද්ගලයින් 6,873,138ක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණකර තිබේ.

12,290,482ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. මේ අතර හික්කඩුව, දොඩන්දූව, රෝහණ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ ම‍ධ්‍යස්ථානයේ එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව තිබේ.

ඊයේ දිනයේ එන්නත් ලබාගැනීම සඳහා එම ස්ථානයට පැමිණි පිරිස් මෙලෙස අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. උදෑසන එන්නත්කරණය ආරම්භකර අදාළ පත්‍රිකාවල සටහන් තැබිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් පිටව ගිය බවට ජනතාව චෝදනා කරති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now