Covid එන්නත නිසා දරු උපත් නැතිවීම හා ලිංගික බෙලහීනතා..?

covid19 vaccination mathale Prabath Ranasinghe
By Sewvandhi Oct 05, 2021 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් විවිධ රටවලට ගමන් කිරීමට බාධා ඇති බව, එමෙන් ම ලිංගික බෙලහීනතා සහ දරුවන් නොලැබීම, සංකූලතා ඇතිවීම, මත්වතුර පානය සුදුසු බවට සමාජයේ පැතිර යන මතය සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක් බව මාතලේ දිස්ත්‍රික් ‍ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා පැවසී ය.

මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනාවෛරසය පාලනය කිරීම සඳහා මාධ්‍යවේදීන් ලබාදුන් සහාය සඳහා ස්තුතිය පළකිරීම සඳහා සහ වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (ඔක්. 4) මාතලේ සංවිධානය කොට තිබුණු සාකච්ඡාවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.

බොහෝ දෙනෙක් විදේශ රටවල්වලට යාම සඳහා දැනට ලංකාවේ ලබා දෙන එන්නත් වර්ග සුදුසු නොවන බවට පැතිර යන කතාව මෙන් ම, තරුණයන් අතරේ පැතිර යන ලිංගික බෙලහීනතාව, දරුවන් පිළිසිඳ නොගැනීමේ තත්ත්වයක් පවතින මතය සහ ඇල්කොහොල් වර්ග පානය කිරීම කොවිඩ් මර්දනයට සුදුසු යැයි මතවල සත්‍ය කුමක්දැයි මාධ්‍යවේදීහු විමසන්නට වූහ.

එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මාතලේ දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා කියා සිටියේ, අප රටේ ජනතාවට ලබාදෙන සෑ ම එන්නතක් ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන ලද උසස් තත්ත්වයේ එන්නත් බව ය. එමෙන් ම, තරුණ පිරිස් මිථ්‍යා මතයක එළඹී සිටින බව පෙන්වා දෙන වෛද්‍යවරයා කියා සිටියේ, එන්නත්කරණ සිදු වන්නේ ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමට විනා ලිංගික බෙලහීනතාව හෝ දරු උපත් නොමැති වීමේ කිසිදු සිද්ධියක් ක්‍රියාත්මක නොවන බවය.

එම සියලු මත මිථ්‍යා බව ද පැවසීය. බොහෝ දෙනා වෛරසය මර්දනය කිරීම සඳහා ඇල්කොහොල් යොදා ගැනීම නිසා මත්වතුර භාවිතයට සුදුසු බව පැතිර යන කටකතා ඇතැම් මත්ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් විසින් ගොතන ලද වැරදි කතා බවත් ඒවා සම්පූර්ණයෙන් ම නිවැරදි විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මත්වතුර පානය කරන ස්ථානයක මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව ද වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චමින්ද වීරකෝන්, මාතලේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now