30ට අඩු අයට එන්නත් ලබා දෙන දිනය ගැන ඉඟියක්

covid19 vaccine vaccination prasanna gunasena delta variety
By Sewvandhi Aug 09, 2021 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සැප්තැම්බර් මස මුල් සතියේ ආරම්භ කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.  

මේ අතර, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 100,000 තොගයක් දිවයිනට ලඟා වී තිබෙනවා. එමෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් ඊයේ (08) අලුයම දිවයිනට රැගෙන ආ බව වාර්තාකරු පැවසුවේය. ඒ සමඟ මෙරටට හිමිවූ මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. මේ අතර කොළඹ නගර සීමාව තුළ මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 30 ඉක්මවු පුද්ගලයින්ට සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයට පැමිණ අද දිනයේ ද එන්නත ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය මීට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

එන්නත් මාත්‍රා 728,000ක තොගයක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන ආ බව අප වාර්තාකරු පැවසීය. එම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

ජපානය විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක තොගයක් ලබාදීමට එකඟත්වය පළ වී තිබු අතර, පසුගිය ජුලි මස 31 වන දා ද එන්නත් මාත්‍රා 728,460ක තොගයක් දිවයිනට රැගෙන ආවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now