වයස 18ත් 30ත් අතර පිරිස එන්නත්කරණය අරඹන දිනය මෙන්න

covid19 lock down vaccination ranjith batuvanthudava samith ginige
By Sithumi Aug 22, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

සැප්තැම්බර් මස දෙවන සතියේ සිට වයස අවුරුදු 18 -30ත් අතර පිරිස එන්නත්කරණයට සැලසුම්කර ඇති බව රජය පවසයි. රජයේ මාධ්‍ය සකච්ඡාවට අද (22) එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවය.

“අපේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනය මිලියන 11.5 ක්. මොවුන්ට මාත්‍රා දෙකම දෙන්න අපිට මිලියන 23 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපිට එන්නත් මිලියන 19.5ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉදිරි සති දෙක තුළ ඉතිරි එන්නත් ප්‍රමාණය සපයා ගන්න පුළුවන්. අපේ ඉලක්කය සැප්තැම්බර් මස මුල් සතිය වන විට අවුරුදු 30ට වැඩි සෑම කෙනෙකුටම එන්නත් මාත්‍රා දෙකම ලබාදීම. අපි ඒ ඉලක්කයට සාර්ථකව ළඟාවෙමින් සිටිනවා. අද වන විට 30ට වැඩි ජනගහණයෙන් 99%කටම ප්‍රථම මාත්‍රාව දී අවසන්. 30ට වැඩි කණ්ඩායමේ 48%කට දෙවන මාත්‍රාවද දී අවසන් ”

මේ අතර වයස අවුරුදු 02 සිට 65 අතර පිරිස නිවසේ රඳවා ප්‍රතිකාරකර බලාගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඒ බව පැවසූවේ රජයේ මාධ්‍ය සකච්ඡාවට එක්වෙමින්ය. එලෙස නිවසේ රඳවා ප්‍රතිකාරකර බලාගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා පිරිස දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන අය නොවීම, ඔවුන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම, රෝගීයාට වෙනම සිටීමට කාමරයක් තිබීම වැඩසටහනට අවශ්‍ය කොන්දේසි බවත් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

අවම වශයෙන් දිනකට දෙවරක් වෛද්‍යවරුන් රෝගීයා හා සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“නිවසේ රඳවා ප්‍රතිකාර කරමින් බලාගැනීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේ. මෙතෙක් කිසිම මරණයක් නිවෙස්වලින් වාර්තා වූයේ නැහැ.රෝග ලක්ෂණ උත්සන්නවීම නිසා ඉන් 05%ක් පමණ රෝහල්ගත කළා. මේ ක්‍රමය සාර්ථක වූ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ එය දිගටම ක්‍රියාත්මක කිරීමට. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග රෝගීන් ඉහළයෑම නිසා බරපතළ රෝගීන් සඳහා රෝහල් ඉඩ වෙන්කිරීම ඉන් අපේක්ෂා කළා.” යැයි ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දුනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha