කොවිඩ් වැළඳී සුව වුණත් ඒ පසුපස එන නිහඬ මාරයෙකු ගැන අනාවරණයක්
කොරෝනාවෛරසය ආසාදනය වූ විට අග්න්‍යාසයේ සෛල ක්‍රියාකාරිත්වයේ පරිවර්තනයක් සිදු වන බවට මෑත කාලීන කොවිඩ්-19 අධ්‍යයන කිහිපයකින් හඳුනාගෙන තිබේ.
අදාළ පර්යේෂණයන්ට අනුව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු සෛලවල ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා මෙන් ම ඒවායෙහි ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි බවට ද හඳුනාගෙන තිබේ. එම පර්යේෂකයින් එම කරුණ උදාහරණයක් මගින් මෙලෙස පැහැදිලි කර ඇත.
එනම්, අග්‍න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල මෙම වෛරසයට ගොදුරු වූ විට ඒවායෙහි ඉන් පෙරට වඩා අඩුවෙන් ඉන්සියුලින් නිපදවන බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව ඒ සම්බන්ධයෙන් පර්යේෂකයින් හඳුනාගෙන ඇති තවත් කරුණක් වන්නේ, අග්න්‍යාසයේ එම සෛලවලට අයත් කාර්යයක් නොවන ග්ලූකෝස් සහ ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම ද සිදුවන බවය.
මේ සම්බන්ධ පර්යේෂණයේ නායකත්වය දරන ආචාර්ය ෂූයිබිංග් චෙන් මෙය සෛලවල ඉරණමේ වෙනසක් ලෙස හඳුන්වා තිබේ.
එම වෙනස්කම් දිගු කලක් පැවතිය හැකි ද? නැතහොත් ඒවා පෙර පැවති තත්ත්වයට ආපසු හැරවිය හැකි ද? යන්න සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂකයින්ට පැහැදිලි පිළිතුරක් හමු වී නොමැති බව ද සෛල පරිවෘත්තිය සම්බන්ධයෙන් පෙර ප්‍රකාශයට පත් කළ පර්යේෂණ වාර්තාවකින් සඳහන් කර ඇත. ආචාර්ය චෙන් පවසා ඇත්තේ, කොවිඩ්-19න් දිවි ගලවාගත් ඇතැම් අයට ටික කලකින් දියවැඩියා රෝගය වැළඳී ඇති බවය. අලුතින් ඇති වන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය විමර්ශනය කිරීම නිසැකව සිදු විය යුතු බව ද චෙන් පවසා ඇත.
මේ වන විට චෙන් ඇතුළු කණ්ඩායම පෙනහලු, අක්මාව, බඩවැල් සහ ස්නායු පද්ධතිය ආදී කුඩා අවයව සෑදීමට මූලික සෛල පොකුරු සම්බන්ධයෙන් කොරෝනාවෛරසයෙහි අත්හදාබැලීම් සිදු කරමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම පර්යේෂණවලදී සොයාගෙන ඇති පරිදි පෙනහලු පටකවල ද සෛල ඉරණම හෙවත් ක්‍රියාකාරිත්වය නැතිවීම සිදුව ඇති බවට ආචාර්ය චෙන් සඳහන් කළ බවය. කොරෝනාවෛරස ආසාදනය වූ එක්ව වාසය කරන පුද්ගල යුගලයන් යොදාගෙන සිදු කර ඇති තවත් පර්යේෂණයක් සම්බන්ධව ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
කොරෝනාවෛරසයට ගොදුරු වූ පුද්ගල යුගලයන් අතරින් එක් අයෙකු බරපතළව ආසාදනයට ලක්වුව ද අනෙකා ස්වභාවිකව ම වෛරසයට ප්‍රතිරෝධී ලෙස ගොඩනැගී ඇත්තේ ද? යන්න මෙහිදී පර්යේෂණයට භාජනය කර තිබේ. එවැනි අවස්ථා දුර්ලභ බව පර්යේෂකයින් විශ්වාස කරන අතර කෙසේ නමුත් මෙම අධ්‍යයනය පුද්ගලයින් යුගල 86කගේ රුධිර සාම්පල භාවිතයෙන් සිදු කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන ඇති කරුණක් වන්නේ, සිය හවුල්කාර පාර්ශවයේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ විෂබීජවලට ප්‍රතිචාර දක්වන ස්වාභාවික ඝාතක සෛල (natural killer cells) වඩාත් කාර්යක්ෂම කිරීමට දායක වන ජාන බොහෝවිට පවතින බවය. මේ සම්බන්ධ වාර්තා පසුගිය අඟහරුවාදා (සැප්. 28) ප්‍රකාශයට පත් කර ඇත. එම පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය සඳහන් කර ඇත්තේ, අදාළ පර්යේෂණයේ උපකල්පනය නම් සිය සහකරු හෝ සහකාරිය තුළ නිතර දක්නට ලැබෙන ජානමය ප්‍රභේදයන් ස්වභාවික විෂබීජ ඝාතක සෛල සක්‍රීය කිරීම වළක්වන අණු නිපදවීමට හේතුවේ, යන්නය.
කෙසේ නමුත් සිදු කර ඇති වර්තමාන අධ්‍යයනයට අනුව මෙය ඔප්පු කළ නොහැකි බව ද වෙනත් ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයන්හි ක්‍රියාකාරිත්වයන් ද ඒ සඳහා අධ්‍යයනය කළ යුතුව ඇති බව ද එම පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය වැඩිදුරටත් සඳහන් කර තිබේ.