මල් ශාලාවේ දී හඳුනාගත් කොවිඩ් මරණය

By Sithumi May 30, 2021 02:17 PM GMT
Sithumi

Sithumi

Report

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි නිට්ටඹුව උදම්මිට පදිංචි 49 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වනදා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඇයගේ දේහය ඥාතීන් වෙත ලබාදෙමින් රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ ඇයට වෛරසය ආසාදනය වී නොමැති බැවින් සාමාන්‍ය පරිදි අවමංගල කටයුතු කිරීමට ඉඩ ලබාදෙන බවය.

ඥාතීන් එම දේහය මල්ශාලාව වෙත රැගෙන ගොස් යළි නිවසට රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ රෝහලෙන් දැනුම් දී ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු බවය. මේ අතර, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර මහතාද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යනවිට ඒ මහතා 60 වන වියෙහි පසු වූ අතර සෞඛ්‍ය අංශ තහවුරු කළේ ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බවය. පාර්ලිමේන්තුව සහ දකුණු පළාත් සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් අපවත් වූහ.

උන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව බද්දේගමදී සිදුකෙරුණි. මේ අතර අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,405 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2020 මාර්තු සිට 2021 අප්‍රේල් මුල දක්වා පළමු හා දෙවන කොවිඩ් රැලිවලින් වාර්තා වූ සමස්ත මරණ ගණන 677කි.

නමුත් පසුගිය අප්‍රේල් 15 වැනිදා ආරම්භ වූ කොවිඩ් තුන්වන රැල්ලෙන් මරණ 801ක් වාර්තා වී තිබේ. එනම් සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 57ක්ම වාර්තා වන්නේ තුන්වන රැල්ලෙනි. ඒ අතර මැයි මාසයේ ගෙවුණු දින 29 තුළ පමණක් කොවිඩ් මරණ 728 ක් වාර්තා විය.

එනම් සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 51.8 ක්ම සිදුව තිබෙන්නේ මැයි මාසය තුළදීය. මේ අතර මහනුවර,රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද ආරම්භ කළ අතර සෞඛ්‍ය අංශ හා යුද හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් එන්නත්කරණය සිදුකෙරුණි.

එන්නත් ලබාගැනීම සඳහා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය වෙත අදත් විශාල පිරිසක් පැමිණ සිටිය නමුත් ජනතාව චෝදනා කළේ නිකුත් කර ඇති එන්නත් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හිතවත්කම ප්‍රමුඛතාව තෝරාගනිමින් එන්නත්කරණය සිදුකරන බවටය. එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතැම් ස්ථානවල අවිධිමත් ආකාරයෙන් සිදුවන අතරතුර ඡන්ද හිමි නාමලේඛණය සහිත තොරතුරු පද්ධතියක් උපයෝගී කරගනිමින් ක්‍රමවත්ව එන්නත්කරණය සිදුකිරීමේ වැඩපිළිවෙළක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී අද ආරම්භ විය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමතිවරු අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැස්ව සාකච්ඡාවක නිරත විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now