රාජ්‍ය සේවකයින්ට සහනයක්..රක්ෂණ අරමුදලක්..?

By Sewvandhi Oct 14, 2021 10:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වසංගතයෙන් රෝගාතුරවී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (13) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැලඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබිණි.

මේ අතර 2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබාගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී අදහස් පළ කළ බවද අගමැති මාධ්‍ය අංශය පැවසීය. එහිදී මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජීවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ අතර එහිදී ඒ පිළිබඳ සොයා බැලීමට අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබුණි.

මේ අතර රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර පවතින ගැටලු බලපා ඇති අකාරය පිළිබඳව වෘත්තීය සමිති විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. එහිදී, රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා,

ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මකවීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now