දුම්වැටි වලටත් මිල සූත්‍රයක්..ගාන තවත් වැඩි වෙයි.

price smoking cigarette Keheliya Rabukwella dr.Samadi Rajapaksha
By Sewvandhi Oct 08, 2021 02:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට දුම්වැටියක මිල වසරකට වරක් අනිවාර්යයෙන් ඉහළ දැමීමට අදාළ දුම්වැටි මිල සූත්‍රයේ ආකෘතිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත භාර දී තිබෙනවා. ඒ, දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින්.

එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ මෙරට දුම්වැටි භාවිතය අවම කරවීම සඳහා විද්‍යානුකූල හා ගණිතමය ක්‍රමයකට දුම්වැටිවල මිල ඉහළ දැමීම සඳහා මෙම දුම්වැටි මිල සූත්‍රය සකස් කළ බවයි.

මෙම දුම්වැටි මිල සූත්‍රය ක්‍රියාත්මක වීමෙන් 2022 සිට 2026 වසර දක්වා රජයට හිමිවන ආදායම රුපියල් බිලියන 124.6 ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වීමෙන් සෑම වසරකදීම රජයේ ආදායම 6%කින් ඉහළ යනු ඇති. මෙම මිල සූත්‍රයේ ආකෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව එය මෙවර අයවැය වාර්තාවට ඇතුලත් කිරීම සඳහා යොමු කෙරෙනු ඇති. මේ අතර සක්‍රීය හා අක්‍රීය දුම් පානය හේතුවෙන් මෙරට තුළ දිනකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ මිය යන බව දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව වසරකට පුද්ගලයන් 22,000ක් පමණ දුම් පානය මුල් කර ගෙන ඇති වන රෝගාබාධ හේතුවෙන් මිය යන බවයි. එමෙන්ම, දුම්පානය කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර 10කින් පමණ අඩු වන බව නවතම සමීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.

මේ වන විට මෙරට වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් දුම්වැටි භාවිතයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බවයි දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම තරුණ ප්‍රජාව දුම්වැටි භාවිතයෙන් ඉවත් වී තිබීමේ තත්වයක් නවතම වාර්තා මඟින් කැපී පෙනෙන ලෙස නිරීක්ෂණය වන බව දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now