ලෝකෙම උනන්දුවෙන් යන්න දගලන අපූරු සෞඛ්‍ය වැඩසටහන - බර අඩු කරගත්තොත් මේ අයට හරක් මස් නොමිලේ
චීනයේ නැගෙනහිර ජියැංසු පළාතේ වුක්සි (Wuxi) නගරයේ ෂැන්බෙයි (Shanbei) ප්‍රාදේශීය බලධාරීන් විසින් මේ දිනවල අපූරු සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
"මේදයට හරක් මස්" (Trade Fat for Beef) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ, තම සිරුරේ බර අඩු කර ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව නගරවාසීන්ට ත්‍යාග ලෙස හරක් මස් පිරිනමයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත ප්‍රචාරය වීමත් සමඟ, දින තුනක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින් 2,400කට අධික පිරිසක් මීට ලියාපදිංචි වී ඇත.
කෙසේ වෙතත් මෙම අපූරු වැඩසටහන විනෝදාස්වාදය සඳහා පමණක්ම ක්‍රියාත්මක නොවේ. චීන වැඩිහිටි ජනගහනයෙන් අඩකට වඩා තරබාරුකමෙන් හෝ අධික බරින් පෙළෙන බැවින්, 2030 වසර වන විට මෙම තත්ත්වය සියයට හැත්තෑවකට වඩා වැඩි වනු ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.
ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා
ඒ අනුව ජාතික සෞඛ්‍ය කොමිසම විසින් ඉකුත් දා හඳුන්වා දුන් තුන් අවුරුදු ජාතික බර කළමනාකරණ සැලැස්මට සමගාමීව, බිම් මට්ටමින් ගත් සාර්ථක උත්සාහයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය හඳුන්වයි.
මෙහිදී බර අඩු කර ගැනීමේදී කිලෝග්‍රෑම් 0.5ක් සඳහා අස්ථි රහිත හරක් මස් ග්‍රෑම් 500ක් ද, කිලෝග්‍රෑම් 1ක් සඳහා ගව වලිගය (oxtail) ග්‍රෑම් 500ක් ද වශයෙන්, උපරිම ලෙස කිලෝග්‍රෑම් 10ක බර අඩුවීමක් දක්වා විවිධ අගයන්ගෙන් යුත් ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව තරගකරුවන්ට හිමි වෙන බව සඳහන්.
එසේම ත්‍යාග ලබා ගැනීමේ කෑදරකමට අනතුරුදායක ලෙස බර අඩු කර ගැනීමට මෙහිදී අවසර හිමි නොවේ.
ඒ අනුව බර අඩු කිරීමේ ඖෂධ භාවිතය, උපවාස කිරීම හෝ වෙනත් අන්තවාදී ක්‍රම ඔස්සේ බර අඩු කර ගැනීම මෙහිදී සපුරා තහනම් කර ඇති අතර, නිසි ආහාර පාලනයක් සහ ව්‍යායාම මඟින් පමණක් ප්‍රතිඵල ලබා ගැනීම බලධාරීන්ගේ ප්‍රධානතම කොන්දේසිය වී ඇත.
එමෙන්ම මෙම වරප්‍රසාදය හිමිවන්නේ ෂැන්බෙයි කලාපයේ සෞඛ්‍ය රක්ෂණ සහිතව ලියාපදිංචි වී ඇති සේවකයින්ට පමණක් බව වාර්තා වේ.
කෙසේ වෙතත් දිය කර හරින මේදය වෙනුවට යළිත් මස් ම ලබා දීම එක්තරා ආකාරයක සිනා යන කරුණක් සේ පෙනුණත්, එය නිහඬව වර්ධනය වන ජාතික සෞඛ්‍ය අර්බුදයකට එරෙහිව මිනිසුන් සිනහමුසු මුහුණින් හා උද්යෝගයෙන් පෙළගැස්වූ අපූරු සංකල්පයක් වී ඇත.