තවමත් සැඟවුණු දාහතර හැවිරිදි පාසල් දැරියගේ මරණයේ අබිරහස.!(VIDEO)

Dambulla Halmillava habaraththava D.S.senanayaka school Buddima Prymali
By Sewvandhi Oct 16, 2021 04:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ දරුවෝය. එහෙත් එබඳු දරුවනට අද වන විට අත් වී ඇති ඉරණම මහපොළොව නුහුලන තරම්ය. දරුවන් මෙවන් අවාසනාවන්ත ඉරණම්වලට මුහුණදීමට මවුපියන්ගේ නොසැලකිල්ලද හේතුවේ. මවුපියන්ගේ නොසැලකිලිමත් භාවයට අමතරව සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ සාරධර්ම කඩා වැටීමද ළමා දූෂණ මෙන්ම ළමා ඝාතන ඉහළ යෑමට බෙහෙවින් බලපා තිබේ. මෙවන් නොසැලකිලිමත්කම නිසා සිදුවූ තවත් මහපොළොව නුහුලන අපරාධයක් පසුගියදා දඹුල්ල පොලිස් වසමෙන්ද වාර්තා විය.

වයස අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කොට මරා දැමීමේ සිද්ධියකින් දඹුල්ල, හල්මිල්ලෑව, හබරත්තාව ප්‍රදේශයම මේ වන විටත් සිටින්නේ දැඩි කම්පාවට පත්වය. බුද්ධිමා පියමාලි දාහතර හැවිරිදි පාසල් සිසුවියකි. ඇය කණ්ඩලම ඩී.එස්. සේනානායක විදුහලේ නව වැනි වසරේ ඉගෙනුම ලැබුවාය. ඇගේ පියා කුලී වැඩ කරමින් සිය බිරිය හා දරුවන් නඩත්තු කළේය. දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ බුද්ධිමාය. ගැහැනු දරුවෝ හතර දෙනෙකි. එක් පුතෙකි. ඔහුද මහණ දම් පුරමින් සිටී. ඉකුත් 8 වැනිදා බුද්ධිමාගේ මව ඇගේ සොහොයුරියක්ද සමඟ දඹුල්ල පොලිසියට පැමිණියහ.

වේලාවද සවස හය පසුවී තිබිණි. ඇය දඹුල්ල පොලිසියට පැමිණියේ තම බාල දියණිය නිවෙසට නොපැමිණි බව කියන්නටය. ඒ වන විට දඹුල්ල මූලස්ථාන පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ලෙස රාජකාරි කළේ සුනිල් කරුණාතිලක මහතාය. පැමිණිලිකාරිය ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබීය. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක පැමිණිලිකාරියගෙන් විස්තර විමසුවේය. “මහත්තයා මගේ බාල දුව දරුවකුට උගන්වන්න කියලා ඊයේ ගෙදරින් ගියා. ඒත් එයා තවමත් ගෙදර ආවේ නැහැ” ඇය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා හමුවේ කියා සිටියාය. “කාත් එක්කද ගියේ?” ඇය ඊට පිළිතුරු දුන්නාය.

දියණිය රැගෙන ගිය පුද්ගලයා කවුදැයි ඇය කීවාය. “එයා මගේ ලොකු දුවගේ යාළුවෙක්. එයා හොඳට හඳුනනවා. මගේ පොඩි දුව එයත් එක්ක තමයි ගිහින් තිබුණේ” “මීට කලිනුත් ඔහොම ගිහින් තියෙනවාද?” “ඔව්... මහත්තයා...” “ඒ කොහේටද...” “හබරත්තාව එයාලගේ ගෙදරට...” “හරි අපි හොයලා බලන්නම්” පැමිණිලිකාරිය දඹුල්ල පොලිසියෙන් නික්ම යන්නේ ඉන් අනතුරුවය. ගෙදරට ගියද චන්ද්‍රාට සිය බාල දියණියට වූ දේ අදහාගත නොහැක්කක් වූවාය. ඇය දියණිය සොයන්නට ගත් කිසිදු උත්සාහයක් සාර්ථක නොවීය. එහෙත් ඇය තම බාල දියණිය යතුරුපැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කවුදැයි හොඳින් දැන සිටියාය.

බාල දියණිය රැගෙන ගොස් තිබුණේ ලොකු දුව කුමාරිගේ මිතුරියකගේ සැමියා විසිනි. චන්ද්‍රා එම යුවළ නතරව සිටි හබරත්තාව නිවෙසටද ගොස් ඔවුන් ගැන විමසුවාය. එහෙත් ඒ තාවකාලික නිවෙසේ කිසිවකු නොවීය. මේ අතර බුද්ධිමා යළි නිවෙසට නොපැමිණීම ගැන ලැබුණු පැමිණිල්ල මත වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අවශ්‍ය පියවර ගත්තේය. හබරත්තාව අයිති වන්නේ ගල්කිරියාගම පොලිස් වසමටය.


එහෙත් මෑතකදී එම ප්‍රදේශයට නව පොලිස් ස්ථානයක් ස්ථාපිත කර තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක ලැබුණු පැමිණිල්ල ගිරානේගම නව පොලිසියට දැනුම් දුන්නේය. බුද්ධිමා කිසිවකු විසින් පැහැරගෙන නොයෑමත් ඇය අතුරුදන්ව නැතිවීමත් ඇය රැගෙන ගිය පුද්ගලයා ඇගේ මවුපියන් හොඳින් දන්නා හඳුනන අය වීමත් නිසා පොලිසිය බුද්ධිමා නිවෙසට නොපැමිණීම ගැන තවදුරටත් සොයා බලන ලෙස ඇගේ මවුපියන්ටද දන්වා මේ බව ගිරානේගම පොලිසියද දැනුවත් කළේය. ඒ අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශයටද ඇගේ මව පැමිණිල්ලක් කර තිබුණාය. ඒ බුද්ධිමා අතුරුදන් වී ඇති බවය. මේ බව දඹුල්ල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට දැන ගන්නට ලැබිණි.

“මේ නිසා අපට පොඩි සැකයක් ඇති වුණා. මේ ගෑනු කෙනා ඔය බුද්ධිමා කියන ගැහැනු ළමයා ගැන කිසියම් තොරතුරක් දැනගෙන ඒක හංගනවාද කියලා. ඒ නිසා ඔය ළමයා අරන් ගියා කියන පුද්ගලයා නැවතිලා හිටිය ස්ථානයට මම කණ්ඩායමක් යැව්වා. එයාලා හිටියේ අලුතින් හදන ගොඩනැඟිල්ලක පිටුපස කොටසේ කුඩා කාමරයක ටකරම්වලින් ආවරණය කරපු. ඒත් ඒ ස්ථානයේ මේ පුද්ගලයා හිටියේ නැහැ.” “පස්සේ අපි හෙව්වා මේ පුද්ගලයා සමඟ ඉන්න කාන්තාව ගැන. ඒ ගෑනු කෙනාගේ ගෙවල් තියෙන්නේ කණ්ඩලමේ. ඒ ගෙදරවත් ඉන්නවාද බලන්නත් 119 කණ්ඩායමක් යැව්වා. ඒත් ඒ කෙනා එතැන හිටියේ නැහැ” වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කියන්නේය.

කෙසේ වෙතත් පොලිසිය ස්ථාන කිහිපයක් සොයා බැලුවද සැකසහිත පුද්ගලයා ඒ කිසි තැනක නොවීය. ඔහු සමඟ කාන්තාවක් හා ඇගේ අට හැවිරිදි දැරියක් ජීවත්වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණද ඔවුන් සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබුණේ නැත. නව වැනිදාට පහන් වූයේ මෙවන් තත්ත්වයක් තිබියදීය. “ඉන් පස්සේ අපට තවත් තොරතුරක් ලැබුණා. මේ අතුරුදන්ව ඉන්න පුද්ගලයා එයාගේ බිරියයි දරුවයි එක්ක මීට මාස දෙක තුනකට කලින් කලෝගහඇළ පැත්තේ ගෙදරක නතර වෙලා හිටියා කියලා.” “ඒ තොරතුරට අනුව පොලිස් නිලධාරීන් ඒ ගෙදරටත් ගියා.

එහෙවත් ඔය මනුස්සයා ඉන්නවද කියලා බලන්න. ඒත් ඒ ගෙදර ‍ෙදාර වහලා තිබුණේ. ජනේලවලට ඉටිරෙදි දාලා රෙදි පටිත් ගහලා තිබුණා. එතකොට තමයි ගිය නිලධාරීන්ට ගේ ඇතුළෙන් මිනී කුණු ගඳ දැනිලා තිබුණේ” “පස්සේ ලී පටියක් කඩලා ඉටිරෙද්දක් අෑත් කරලා බලද්දී තමයි ළමයකුගේ සිරුරක් දැකලා තිබුණේ. ඒ සිරුර රෙද්දකින් වහලා තිබුණත් එයාගේ දකුණු කකුල පේන්න තිබුණා. ඒ අනුව අපි සැක කළා ඒ ඉන්නේ ගෑනු ළමයෙක් බව. ඒ ළමයා මැරිලා කුණුවෙලා තමයි ගඳ එන්නේ...” ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කීවේය.

ඉන් අනතුරුව ඔහු ඇතුළු කණ්ඩායමක්ද කලෝගහඇළ බලා ගියහ. සිද්ධිය නිරීක්‍ෂණය කළ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා මේ බව කොට්ඨාසයේ උසස් නිලධාරීන්ද දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත දඹුල්ල අධිකරණයටද කරුණු වාර්තා කළේය. ඒ අනුව දඹුල්ල අධිකරණය පොලිසියට නියෝග කළේ ‍ෙදාරගුළු විවෘත කර එම නිවෙසට ඇතුළු වන ලෙසය. පසුව දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එම්.ඒ. අමානුල්ලා මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ නිවෙසට පැමිණ එම පාළු නිවෙසේ ඇඳක් මත රෙදි කැබලිවලින් ඔතා තිබූ මළ සිරුර නිරීක්‍ෂණය කළහ.

දැරියගේ ඇඳුම් සිරුරෙන් ඉවත් කර තිබිණි. සිද්ධිය වූ තැනට පැමිණි දැරියගේ මව මියගොස් සිටින්නේ මෙතෙක් අතුරුදන්ව සිටි තම බාල දියණිය බුද්ධිමා බව හඳුනා ගත්තාය. ඇගේ සොහොයුරියක්ද බුද්ධිමා දැක හඬා වැලපුණාය. පසුව අපරාධ පරීක්‍ෂණ භාර නිලධාරීන් දැරියගේ සිරුර සම්බන්ධයෙන් සොකෝ පරීක්‍ෂණ ඇරැඹූ අතර ඇඟිලි සටහන් නිලධාරීහුද සිය විමර්ශන ඇරැඹූහ. ඉන් අනතුරුව නිලධාරීන්ට අවශ්‍ය වූයේ දැරිය මරණයට පත්වූයේ කෙසේද දැයි දැන ගන්නටය.

දැරියගේ සිරුර දඹුල්ල මෘත ශරීරාගාරයට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වුවද බුද්ධිමා පියුමාලි දැරිය මියගියේ කෙසේදැයි නිශ්චිත වශයෙන් තහවුරු නොවීය. එහෙත් ඇගේ සිරුරෙන් ඇඳුම් ගලවා තිබූ හෙයින් ඇය අතවරයකට ලක්ව ඇතැයි සැක කිරීම නිසා ඇගේ සිරුරේ කොටස් රස පරීක්‍ෂක වෙත යැවීමටද බලධාරීහු පියවර ගත්හ.

“අපට තවමත් නිශ්චිතව කියන්න බැහැ මේ දැරියගේ මරණය සාමාන්‍ය මරණයක්ද ඝාතනයක්ද කියා. සාමාන්‍ය මරණයක් නම් ඒ දැරියගේ සිරුරෙන් ඇඳුම් ඉවත් කරන්න ඕනෑ නැහැනේ. ඒ නිසා ඒ ගැන තවම නිශ්චිත තීරණයක් අපට ලැබිලා නැහැ.”ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කීවේය. කෙසේ වෙතත් දැරියගේ මරණය සම්බන්ධයෙන් බුද්ධිමාගේ මවුපියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නිලධාරීහු කටයුතු කළහ. ඒ බුද්ධිමා සැකකරු විසින් රැගෙන ගොස් තිබුණේ මවත්, පියාත් නිවෙසේ සිටියදීම නිසාය.

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල් දරුවා තමයි රේණුකා කුමාරි. එයාගේ දුවගේ යාළුවකුගේ දරුවකුට උගන්වන්න තමයි බුද්ධිමාව එක්කරගෙන ගිහින් තිබුණේ. “මගේ බාල දුව එක්කරගෙන ගිය කෙනාගේ නෝනා මගේ ලොකු දුවගේ යාළුවෙක්. එයාලා එක්ක ඉස්කෝලේ එක පන්තියේ තමයි ඉගෙන ගෙන තියෙන්නේ. ඒ පවුල් දෙකම හිතවත්. මීට කලිනුත් මගේ බාල දුව එයාලාගේ දුවට උගන්වන්න ගිහින් තිබුණා.” “එතකොට කවදද එයාගේ දුවව ඒ මනුස්සයා ගෙනිහින් තිබුණේ” මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇගෙන් ප්‍රශ්න කරන්න විය.

“හය වැනිදා සර්...” “ඒ කොහොමද...” “එයා මෝටර් සයිකලයෙන් එයාගේ දුවත් එක්ක අපේ ගෙදර ඇවිත් තිබුණා. පස්සේ එයා මගේ බුද්ධිමා දුවට කතා කරලා තියෙනවා එයාගේ දුවට පාඩම් වගයක් උගන්වන්න යන්න. එතකොට බුද්ධිමා කියලා තියෙනවා එයාට එන්න බැහැ තුනට ඔන්ලයින් පන්තියක් තියෙනවා කියලා. එතකොට ඒ පොඩි ළමයත් මෙයාට කියලා තියෙනවා අනේ අක්කේ එන්නකෝ කියලා. ඒ වෙලාවේ ඒ මනුස්සයා කියලා තියෙනවා තුනට කලින් බුද්ධිමාව ගෙනත් ඇරලවන්නම් කියලා...” “ඉන් පස්සේ...” “පස්සේ තමයි ඒ මනුස්සයා ආව බයික් එකටම නැඟලා බුද්ධිමා ගිහින් තිබුණේ. එයා එදා ආවෙත් නැහැ. පහුවැනිදා ආවෙත් නැති නිසා තමයි සර් මම පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මේ.”

“මේ ළමයට මෙහෙම දෙයක් වෙයි කියලා හිතා ගන්නවත් බැහැ මහත්තයෝ...” “දැන් ඔය අරගෙන ගිය පුද්ගලයා ඔයාලා හඳුනනවද?” “එහෙමටත් අඳුරන්නේ නැහැ. දවස් දෙක තුනයි දැකලා තියෙන්නේ. එයාව හොඳටම අඳුරන්නේ මගේ ලොකු දුව තමයි...” බුද්ධිමාගේ මව චන්ද්‍රා පොලිසිය හමුවේ කීවාය. ඒ අනුව පොලිසිය නිගමනය කළේ සැකකාර පුද්ගලයා ඔහුගේ හත් හැවිරිදි දියණියද යතුරුපැදියේ නංවාගෙන දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ බුද්ධිමා රැඳී සිටි නිවෙසට පැමිණ රේණුකාගේ සොහොයුරියක් වන බුද්ධිමා පැමිණි යතුරුපැදියෙන්ම රැගෙන ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරක් දැන ගැනීමට චන්ද්‍රාගේ වැඩිමහල් දියණිය වූ රේණුකා කුමාරිගෙන්ද පොලිසිය ප්‍රශ්න කරන්නට විය. ඒ බුද්ධිමා රැගෙන ගිය පුද්ගලයා ගැන කිසියම් හෝඩුවාවක් හෝ ලබා ගැනීම සඳහාය. ඇය පදිංචිව සිටින්නේ මහ ගෙදරට ආසන්න වෙනත් නිවෙසකය. “මීට කලිනුත් නංගි අපට කියන්නෙත් නැතිව මගේ යාළුවගේ මහත්තයත් එක්ක ත්‍රීවීල් එකකින් එයාලගේ දුවට උගන්වන්න ගිහිල්ලා තිබුණා. පස්සේ මං ගිහින් නංගිව එක්කගෙන ආවා” “ඔයා කොච්චර කාලයක් ඔය කට්ටිය හඳුනනවාද?” “මගේ යාළුවයි මමයි එකට ඉස්කෝලේ ගියේ.

පහ වසර වෙනකම්ම අපි දෙන්නා එකට ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්වය පාස්වෙලා එයා දඹුල්ලට ගියා. මම කණ්ඩලමේ ඩී.එස්. සේනානායක ඉස්කෝලෙට ගියා. ඉන් පස්සේ අපි අෑත් වුණා. මුණගැසුණේ නැහැ. පස්සේ මගේ මහත්තයා වැඩපළට ගිහිල්ලා ඉන්න කොට එයාගේ මහත්තයත් එතැනට ඇවිත් එතැන වැඩ කළා. එතැනදී තමයි ආයෙත් පරණ යාළුකම අලුත් වුණේ...” “අපි එයාලගේ ගෙවල්වලට ගියා. එයාලත් අපේ ගෙදර ආවා ගියා. ඉන් පස්සේ අපි දෙගොල්ලෝ ගොඩක් හිතවත් වුණා...” පොලිස් නිලධාරීන් ඇගෙන් සිය සොහොයුරිය ගැනද විමසීමක් කළේය.

“නංගි අහල පහළ දරුවන්ට උගන්වනවා. ප්‍රශ්න පත්තර දීපුවම කියලා දෙන්න ඒ ගෙවල්වලටත් යනවා. ඒ නිසා තමයි යාළුවගේ ගෙදරටත් උගන්වන්න ගියේ...” ඇය හඬා වැලපෙමින් නිලධාරීන් හමුවේ කියන්නට වූවාය. ඒ අනුව දඹුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායම යුහුසුලු වූයේ බුද්ධිමා දියණිය යතුරුපැදියෙන් රැගෙන ගිය පුද්ගලයා කෙසේ හෝ කොටුකර ගැනීමටය. පසුව නිලධාරීන් ඔහු සොයා ඔහු තාවකාලිකව නතර වී සිටි නිවෙස හා ඔහු රැකියාව කරන ස්ථානයද සොයා බැලුවද එහිදී අනාවරණය වූයේ ඔහු බිරිය හා අට හැවිරිදි දියණියද සමඟ ගමෙන් පලාගොස් ඇති බවය. ඒත් විමර්ශන නතර නොකළ නිලධාරීන් සැකකරු සොයා විමර්ශන ඇරැඹුවද ඔහු හෝ ඔහුගේ බිරිය හෝ දරුවාද සොයා ගැනීමට හැකි වූයේ නැත.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා විසින් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබීය. එහි ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් බණ්ඩාරය. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ඔහු සිය කණ්ඩායමක්ද සමඟ ඉකුත් සෙනසුරාදා මාතලේ සිට දඹුල්ලට පැමිණියහ. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් බණ්ඩාර මීට කලින්ද මෙවන් නොවිසඳුණු අපරාධ රැසක් විසඳීමටද දායක වූ නිලධාරියෙක් විය. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුට බුද්ධිමා දැරියගේ ඝාතනයට සම්බන්ධ අපරාධකරු සෙවීම භාර කළේ ඒ විශ්වාසය නිසාය.

මෙලෙස විමර්ශන ඇරැඹූ කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මේ වන විට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සැකකාර පුද්ගලයා මේසන් බාස්කෙනකු බව හෙළිවී ඇත. ඔහු බාස් වැඩ, අත්වැඩ කරමින් ජීවිතය ගෙවන පුද්ගලයෙකි. සැකකරු අනුරාධපුර ගල්කිරියාගම පොලිස් වසමේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකි. “දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඉදිකිරීමක් කරනවා හබරන්තාව ප්‍රදේශයේ. මේ සැකකරුත් ඒ ඉඩමේ මේසන් වැඩ කරනවා.

මෙයා තාවකාලිකව පදිංචිවෙලා සිටියේ කරෝගහඇළ පැත්තේ ගෙදරක. ඒ කියන්නේ ඔය බුද්ධිමා ළමයාගේ මළ සිරුර සොයාගත්ත ගෙදර.” “පස්සේ මේ මනුස්සයා අර ව්‍යාපාරික කාන්තාවගෙන් අහල තියෙනවා මට රස්සාව කරන්නත් ලේසි නිසා ඒ හදන ඉඩමේ කොටසක ඉන්නද කියලා. ඒ ගෑනු කෙනාත් ඒකට කැමැති වෙලා තියෙනවා. එයා ඒ හදන ගේ බලාකියාගෙන ඉඳියි. නැත්නම් හොරකම් එහෙම වෙන හින්දා. පස්සේ තමයි ඒ හදන ගෙදරම පිටිපස්සේ කෑල්ලක තාවකාලිකව එයයි එයාගේ ගෑනියි වයස අවුරුදු අටක දුවයි නතර වෙලා

ඉඳලා තියෙන්නේ... “මේ මනුස්සයට තියෙනවා මෝෆෝඩ් බයික් එකක්. මෙයා භාර්යාව විදියට තියාගෙන ඉන්න කාන්තාව බාලවයසේදීම අතවරයට ලක්වෙලා ඔය දුව ලැබිලා තියෙනවා. එයාට දැන් වයස අවුරුදු අටක්. ඔහොම ඉන්න අතරේ තමයි ඒ ගෑනු කෙනාට මෙයාව මුණ ගැහිලා මේ විදියට දිගටම සම්බන්ධකම පවත්වාගෙන ගිහින් තියෙනවා“ “ඔහොම ඉන්න කොට තමයි ඔය ගෑනු කෙනා මියගිය බුද්ධිමාගේ අක්කත් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ. මේ පවුල් දෙකම හිතවත්ව ඉඳලා තියෙනවා. ඔය බුද්ධිමා වයස අවුරුදු අටේ ගෑනු ළමයට පාඩම් උගන්වන්න ඒ ගෙදරට මීට කලිනුත් ගිහින් තියෙනවා.

“මේ පුද්ගලයයි එයත් එක්ක ඉන්න ගෑනු කෙනා දඹුල්ලේ එක වැඩපළක වැඩ කරලා තියෙනවා. මීට අවුරුදු හතරකට කලින් තමයි දෙන්නගේ සම්බන්ධය ඇතිවෙලා තියෙන්නේ...” විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන ඇත්තේ සැකකරු සමඟ මියගිය වයස අවුරුදු 14 දැරිය කිසියම් සබඳකමක් පවත්වා ඇති බවට සැක කරන බවය. ඒ මියගිය දැරියගේ හා සැකකරුගේ දුරකථන සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුවය. එමෙන්ම දැරිය යතුරුපැදියෙන් රැගෙන යද්දී ඔහු කඩයකින් කඩල වර්ගයක් මිලදී ගත් බවටද තොරතුරු ඇති අතර දැරිය රැගෙන කලෝගහඇළ පාළු නිවෙසට ගිය බවට ඇසින් දුටු සාක්කි කිහිපයක්ද පොලිසිය මේ වන විට සොයාගෙන ඇත.

කෙසේ වෙතත් බුද්ධිමා දැරිය ඇගේ නිවෙසින් රැගෙන යෑමෙන් අනතුරුව ඇගේ මළසිරුර හමුවනතෙක් සැකකරු ක්‍රියාකළ ආකාරය තවමත් අබිරහසකි. එය හෙළිකර ගැනීමට හැකිවන්නේ සැකකරු කොටුකර ගැනීමෙන් අනතුරුවය. දඹුල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන කණ්ඩායම බුද්ධි නිලධාරීන් මෙන්ම මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද මේ වන විටත් 14 හැවිරිදි දැරියගේ ඝාතකයා සොයමින් සිටිති. ඇය අතුරුදන්ව දින කිහිපයක් ගෙවී ඇතත් සැකකාර ඝාතකයා තවමත් නිදැල්ලේය.

පොලිසිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හොයන සැකකරු සිය අනියම් බිරිය හා අට හැවිරිදි දියණියද සමඟ ගමෙන් පලා ගොසිනි. එහෙත් පොලිස් කණ්ඩායම් පවසන්නේ හැකි ඉක්මනින් මොවුන් සොයා ගන්නා බවය. මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත දඹුල්ල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සුනිල් කරුණාතිලක ඇතුළු කණ්ඩායමක්ද මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුදත් බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් සකස් විය. කීර්ති මෙන්ඩිස් (උපුටා ගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now