වහාම ක්‍රියාත්මක පරිදි දිවයින පුරා ඖෂධ සැල් වටලයි - මෙහෙම තිබුණොත් ලක්ෂ ගාණක දඩ
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී මෙම වසරේ මේ දක්වා දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර තිබේ.
2026 ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා කාලය තුළ ඖෂධ සැල් 362ක විමර්ශන සිදුකර ඇති අතර, පසුගිය 03 සහ 04 දෙදින තුළ ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන යටතේ ඖෂධ සැල් 109ක් පරීක්ෂාවට ලක් කරමින් සාර්ථක වැටලීම් 86ක් සිදුකර ඇත.
මෙම විශේෂ විමර්ශනවලදී කල් ඉකුත් වූ ඖෂධ සහ නිෂ්පාදන අලෙවිය සඳහා තබා ගැනීම, පාරිභෝගිකයාට අනිවාර්යයෙන්ම ලැබිය යුතු තොරතුරු නොමැති ඖෂධ අලෙවි කිරීම, නියමිත පාරිභෝගික තොරතුරු ඇතුළත් කිරීමේ නීති උල්ලංඝනය කිරීම මෙන්ම ඖෂධ, වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ නීති කඩකිරීම් රැසක් අනාවරණය වී තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ ඖෂධ පෙති, එන්නත්, සිරින්ජ, ක්‍රීම් වර්ග, ළදරු නිෂ්පාදන, ගර්භණීභාවය පරීක්ෂා කිරීමේ කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොග අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
එලෙස පවරන ලද නඩුවලට අදාළව අධිකරණ මඟින් රුපියල් 2,269,500.00ක දඩ මුදලක් ද නියම කර තිබේ. ඖෂධ හෝ සෞඛ්‍ය ආශ්රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වන දිනය, ලේබලය සහ අනෙකුත් අනිවාර්ය තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් මෙවැනි නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි.