ගුටි බැට හුවමාරුවෙන් අවසන් වුන ජාතික බොක්සිං ශූරතාවලිය

Report

ජාතික බොක්සිං ශූරතාවලියේ තරග පාවාදීම් සහ දූෂණ චෝදනාවන් සිදුවන බවට චෝදනාකරමින් ඊයේ (29) රාත්‍රියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇත .

 ඔවුන්ට හිතවත් පිරිසකට වාසි වන ලෙස තරග ප්‍රතිඵල වෙනස් කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පැවසීමත් ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ එහි නායකත්වය වටා ගොඩනැගී ඇති මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ

ඊයේ දිනයේ අවසන් තරගය ලෙස පැවති තරගයේ දී මෙම ආන්දෝලනාත්මක සිදුවීම සිදුව ඇති බව චෝදනා එල්ලකරන පාර්ශව පෙන්වා දෙයි.

එම තරගයේ පළමු සීනුවේ සිට තෙවන වටයේ අවසානය දක්වාම ඉදිරියෙන් සිටි ක්‍රීඩකයාගේ තාක්ෂණික දක්ෂතාව සහ පහරවල් එල්ලකිරීම් හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා ඔහු විශාල පරතරයකින් ඉදිරියෙන් සිට තිබේ .

නමුත් ප්‍රතිවාදී ක්‍රීඩකයා අවස්ථා කිහිපයකදී නීති විරෝධී පහරදීම් සිදු කළද, විනිසුරුවරයා එය නොසලකා හැර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඔහු දැඩි ප්‍රහාරයන්ට ලක්වන අවස්ථාවලදී කාලය ලබා ගැනීම සඳහා පස් වතාවකට වඩා තම මුඛ ආරක්ෂක ආවරණය බිම දැමීම පවා සිදුකර ඇති බවත් ජාත්‍යන්තර බොක්සිං නීති යටතේ මෙය ලකුණු අඩු කිරීමට හෝ තරගයෙන් ඉවත් කිරීමට (Disqualification) තරම් වරදක් වුවද, කිසිදු දඬුවමක් පනවා නොමැති බව සඳහන් කරයි.

එහිදී විනිසුරුවන් විසින් 4-1ක බෙදුණු තීරණයක් ලබාදී හේතුවෙන් එම තරගය පුරා ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා වෙනුවට අනෙක් ක්‍රීඩකයා තරගය ජයග්‍රහණය කළ බව නිවේදනය කිරීමත් සමග ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇත.

  පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.