"මෙතැනට නාගයෙක් එනවා. මගේ දරුවා තමයි එන නාගයා නාවන්නෙත්.මේක දේවාලය දාගන්න හැදුවට තරහට කළ දෙයක්.” දරුවන් අතුරුදන් වීමේ නාග කතාව ගැන ගුප්ත හෙළිදරව්ව....
කැලුම් හා දේදුනු ඥාති සොහොයුරන්ය. ඔවුන් තවමත් පසුවන්නේ බාල වියේය. දේදුනුගේ වයස අවුරුදු 12කි. කැලුම්ට තවමත් වයස අවුරුදු 10කි. අකිල දේදුනු පදිංචිව සිටින්නේ කොටදෙණියාව පොලිස් වසමේ වත්තෙමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේය.
ඒ තම මව හා සහෝදරයන් සමඟය. රුවිනි දීපානි ඔහුගේ මවය. දීපානිට දරුවන් නව දෙනෙකි. ඒ දරුවන් කසාද දෙකකය. පළමු කසාදේ සැමියා වන්නේ ලාල්ය. ඔහු දිවුලපිටිය, බාඳුරාගොඩ බස් රථයක කොන්‍ෙදාස්තරවරයකු ලෙස සේවය කළේය.
ඔහුට දාව දීපානිට දරුවන් හයකි. ලාල්ගේ හදිසි වියෝවත් සමඟ තනිවන දීපානිට දෙවැනි සැමියාගෙන් තවත් දරුවන් තිදෙනකි. දේදුනු පවුලේ හත්වැනි දරුවාය.
රජයට අයත් ඉඩමක බාල දරුවන් සමඟ පදිංචිව සිටින ඇගේ එක් දියණියක් වන්නේ අප්සරාය. ඇය විවාහ වී සිටින්නේ පස්සර පුද්ගලයකු සමඟය. ඔවුන් ජීවත්වූයේද පස්සරය. ඒ අප්සරාගේ සැමියාගේ නිවෙසේය.
ඇගේ සැමියාද අප්සරාට පෙර විවාහ වූ තැනැත්තෙකි. කැලුම් ඔහුගේ පෙර විවාහයේ දරුවෙකි. දීපානිගේ දරුවන් කිහිපදෙනකුම කරදඬු උස් මහත් වූවෝය. එක් පුතෙක් කුරුණෑගල ගෝනගල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටී.
එම පුතාද සමහර අවස්ථාවල බාඳුරාගොඩ නිවෙසට පැමිණේ. කලක් දීපානි දේවාලයක් පවත්වාගෙන යෑමට උත්සාහ ගත්තාය. එහෙත් එය හරිගියේ නැත. පිරිසක් ඊට විරුද්ධ වූහ.
කාලය මෙසේ ගෙවී ගියේය. කොරෝනා වසංගතයත් සමඟ ලැබුණු පාසල් නිවාඩුව නිසා පුංචි කැලුම්ද පියා සමඟ බාඳුරාගොඩ දේදුනු අයියාගේ නිවෙසට පැමිණ කෙළිදෙලෙන් පසුවූහ.
අප්සරාද කැලුම් තම දරුවකු නොවූවද සැමියාගේ පෙර විවාහයේ දරුවකු වුවද අබමල් රේණුවකවත් වෙනස්කමක් නොකර කැලුම්ට සැලකුවේ තම දරුවකුට මෙන්ය.
මේ නිසා කැලුම්ද බාඳුරාගොඩ ගෙදර සිටියේ සතුටින්ය. ඉකුත් දිනක දීපානිටත් අප්සරාටත් නිවෙසට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන ඒමට මීරිගම නගරයට යන්නට සිදුවිය. මීරිගමට ගිය දීපානි යළි නිවෙසට එද්දී කැලුමුත් දේදුනුත් නිවෙසේ සිටියේ නැත.
එය එතරම් ගණනකට නොගත් දීපානි දරුවන් කෙළි සෙල්ලමෙන් පසුවෙතැයි සිතුවාය. ඒත් පැය දෙක තුනක් ගියද දරුවන්ගේ සේයාවක්වත් නොදුටු ඇය දරුවන් හොයන්නට වෙහෙසුණාය.
දරුවන් අහල පහළද නැති බව ඇයට වැටහුණාය. කැලුම්ගේ පියාද පුතා හොයන්නට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. දරුවන් නිවෙසින් පලාගොස් ඇති බව නිවැසියන්ට වැටහිණි.අවසානයේ දීපානි කොටදෙණියාව පොලිසියට තම දරුවන් සොයාදෙන ලෙස ඉල්ලමින්පමිණිල්ලක් සිදුකළාය.
ඒ ඉකුත් නොවැම්බර් මස 23 වැනිදාය. කොටදෙණියාව පොලිසිය දීපානිගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරගත්තේය. ස්ථානාධිපති පුෂ්පකුමාරගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් බාඳුරාගොඩ හා ඒ අවට දරුවන් යන එන තැන් පිරික්සූහ.
එහෙත් දරු දෙදෙනා ගැන කිසිදු සේයාවක්වත් නැති තරම්ය. අවසානයේ දරුවන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තොරතුරුද සමඟ පොලිස් මූලස්ථානයට පණිවුඩයක්ද යැවීය.
පොලිස් මූලස්ථානය ඒ පණිවුඩය දිවයිනේ සෙසු පොලිස් ස්ථාන වෙතද නිකුත් කරනු ලැබුවේ අතුරුදන් වූ දරුවන් යන මාතෘකාව යටතේය.
අතුරුදන් වූ දරුවන් සොයාදෙන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට ලැබෙන මෙවන් පැමිණිලි සංඛ්‍යාව අතිවිශාලය. සමහරක් පැමිණිලිවලින් දරුවන් අතුරුදන් බව කීවද ඔවුන් සොයාගැනීමෙන් පසුද එම පැමිණිලි එසේම පොලිස් පොත්වල සටහන්ව ඇත.
බාල වියේ පසුවන බොහොමයක් දැරියන් වෙනත් තරුණයන් සමඟ නිවෙසින් පලායෑම්ද දකින්නට ඇත. මීට මාස කිහිපයකට පෙර බාලවයස්කාර දැරියන් තිදෙනකු නිවෙසින් අතුරුදන් වූ බවට පැමිණිල්ලක්ද ඔවුන්ගේ මවුපියන් කෙසෙල්වත්ත පොලිසියට ඉදිරිපත් කර තිබූ අතර දින දෙකකට පසු ඔවුන් සොයාගැනීමට හැකි විය. ඒ බස් රථයක කොන්‍ෙදාස්තරවරයකු කළ මඟපෙන්වීමක් නිසාය.
විමර්ශනයේදී අනාවරණය වූයේ මොවුන් නිවෙසින් බැහැරව ගොස් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ගම්පොළ හා නුවර ප්‍රදේශවල සැරිසරා ඇති බවය. මෙවන් අතුරුදන් වීම් නිරන්තරයෙන් පොලිස් මූලස්ථානයට වාර්තා වන අතර, ඒ අතර අතුරුදන් වූ දරුවන් ඝාතනයට ලක්වූ සිද්ධීන්ද අනාවරණය වූ අවස්ථා බොහෝය.
තම මවුපියන් සමඟ ඇති වන විරසක හේතුවෙන් නිවෙස්වලින් අතුරුදන් වන පාසල් දරුවන් ගැනද ඉකුත් කාලයේදීත් අපට අසන්නට ලැබිණි.
කෙසේවෙතත් කැලුම් හා දේදුනු යන දරුවන් සොයාගැනීමට කොටදෙණියාව පොලිසිය ගත් කිසිදු උත්සාහයක් සාර්ථක වූයේ නැත.
දරුවන් රැඳී සිටි නිවෙසේ දීපානි ඇතුළු සෙසු අයගෙන්ද පොලිසිය ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගත්තද ඒ කිසිදු ප්‍රකාශනයකින් දරුවන් රැඳී සිටින ස්ථානය පිළිබඳ හෝඩුවාවක් හෙළිවූයේ නැත. පොලිසියද දන්න කියන, ලැබෙන තොරතුරු පසුපස පැන්නීය.
වරෙක දරුවන් කුරුණෑගල ගෝනගල ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා ගෙන සිටින බවට පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ දේදුනුගේ සොහොයුරකු එම විහාරස්ථානයේ පැවිදිව සිටින නිසාය. පොලිසිය එම විහාරයට ගොස් දරුවන් ගැන සොයා බැලුවද එහිද දරුවන් සිටියේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටඋත්තර 50කට ආසන්න සංඛ්‍යාවකගෙන් පොලිස්පොත් පිරුණද කැළුම් හා දේදුනු සොයා ගැනීමට කොටදෙණියාව පොලිසියට හැකි වුණේ නැත.
අවසානයේ කොටදෙණියාව පොලිසිය මේ බව පොලිස් මූලස්ථානයට අනුයුක්ත මාධ්‍ය කොට්ඨාසයේ සහාය පැතුවේ මාධ්‍ය මඟින් හෝ ප්‍රචාරයක් ලබාදී දරුවන් සොයා ගැනීම සඳහාය. ඒ දරුවන් අතුරුදන්ව දවස් 19කට පසුවය.
ඒ අනුව පොලිස් මූලස්ථාන මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දරුවන්ගේ නම් ගම් හා ඡායාරූප සහිතව තොරතුරු මාධ්‍ය වෙත එවන්නේ එමඟින් හෝ දරුවන් දෙදෙනා ගැන හෝඩුවාවක් ලැබෙතැයි අපේක්‍ෂාවෙන්ය.
2021 නොවැම්බර් මස 23 වැනි දින සිට ආගිය අතක් නොමැති මෙම පිරිමි දරුවන් ගැන පොලිස් මූලස්ථානය මෙසේ සඳහන් කර තිබිණි. දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැලුම් වයස අවුරුදු 10කි.
ඔහු පස්සර ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය හදාරන්නෙකි. උස අඩි හතරකි. තලෙළුය. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් තුනක් වැටී තිබේ.
ඔහු අවසන් වරට දකිද්දී හැඳ සිටියේ නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමකි. ජයසේකර මුදියන්සේලාගේ අකිල දේදුනුගේ වයස අවුරුදු 12කි. ඔහුගේ උස අඩි 4 අඟල් 10කි.
ඔහුද තලෙළුය. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා තිබේ. නිල් පැහැති කොලර් සහිත ටීෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක් ඔහු අවසන් වරට හැඳ සිටි බව ඔහුගේ මව පොලිසියට සඳහන් කර තිබුණාය.
පොලිස් මූලස්ථානය මේ තොරතුරු ප්‍රචාරය කරමින් ඉල්ලා සිටියේ මෙම දරුවන් දෙදෙනා ගැන කිසියම් හෝ තොරතුරක් වෙතොත් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකථනය වන 0718591634ට හෝ කොටදෙණියාව පොලිසියේ ස්ථාවර දුරකථන අංකය වන 0332240050ට හෝ 0332272222 යන අංකවලට දැනුම් දෙන ලෙසය.
එහෙත් ඒ වන විට දරුවන් අතුරුදන්වී දින 20කට ආසන්න සංඛ්‍යාවක් ගතවී තිබිණි. පොලිස් මූලස්ථානය මහජනයා දැනුවත් කරමින් කිසියම් හෝ හෝඩුවාවක් ලබාගැනීම සඳහා මෙසේ මාධ්‍ය ප්‍රචාරයක් සිදුකළද දරුවන් ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට කොටදෙණියාව පොලිසියට හැකිවූයේ නැත.
බාලවයස්කාර මෙවන් දරුවන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට නීතිමය බලතල ඇති ප්‍රධානතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. ඊට අමතරව ළමා හා කාන්තා කාර්යාංශය හා ළමාරක්‍ෂක අධිකාරියද මෙවන් විමර්ශන සිදුකරනු ඇත.
කොටදෙණියාව පොලිස් වසමේ බාඳුරාගොඩ පදිංචිව සිටි මෙම දරුවන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ 1929 අංශය වෙතද පැමිණිල්ලක් ලැබී තිබූ අතර අතුරුදන්වූ දරුවන්ගේ පාර්ශ්වයෙන් කොටදෙණියාව පොලිසියටද පැමිණිල්ලක් කර තිබිණි. මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ වත්මන් සභාපති උදය කුමාර අමරසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“මම මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා කොටදෙණියාවේ දරුවන් අතුරුදන්වීම ගැන කඩිනම් විමර්ශනයක් සිදු කරලා වාර්තාවක් ළමාරක්‍ෂක අධිකාරියට ඉදිරිපත් කරන්න කියලා. 1998 අංක 50 දරන ජාතික ළමාරක්‍ෂක අධිකාරි පනත යටතේ අපිට බලතල තියෙනවා නඩු කටයුතු නියාමනය කරන්න.”
“මේ ළමයි දෙන්නා අතුරුදන් වෙලා දැන් අදට දින විසිහයක් වෙනවා. ඒත් දරුවන් සොයා ගැනීමට කොටදෙණියාව පොලිසියට හැකියාව ලැබිලා නැහැ. 1929 හරහා අපිට ලැබුණු පැමිණිල්ලත් අපි ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කළා.
ඒ සම්බන්ධයෙන් එම ඒකකය කොටදෙණියාව පොලිසිය දැනුවත් කළා මේ දරුවන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වාර්තාවක් අපට එවන්න කියලා. ඒකට පිළිතුරු ලෙස කොටදෙණියාව පොලිසිය දන්වලා තිබුණේ දරුවන් ගැන තවම තොරතුරක් නැහැ.
තවදුරටත් විමර්ශනය කරනවා කියලයි. ඕක පොලිසිය හැමදාම කියන කතාවක්නේ. අවුරුදු දෙක තුනක් ගියත් කියන්නේ ඔය ටිකමයි. ඒ නිසා මම ඒ උත්තරයෙන් සෑහීමකට පත්වුණේ නැහැ. ඒ නිසා මම අවස්ථා කිහිපයකදීම නැවත නැවත දැනුම් දුන්නා.
ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියත් නියෝජ්‍ය පොලිස්පතිනියත් වාචිකව දැනුවත් කළා සිද්ධිය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන්න කියලා. සමහර වැඩකටයුතු කරන කොට ඒ පනතේ අපට තියෙන බලතල සම්බන්ධයෙන් පොඩි පොඩි නීතිමය ගැටලු ටිකකුත් තියෙනවා. ඒව නිවැරැදි කරන්න ඕන.”
සාමාන්‍යයෙන් 1929ට අමතරව සභාපතිවරයාටත්, ඍජුව මෙවන් පැමිණිලි එනවා. ඒ පැමිණිලි ළමා අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කරන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් මේ ගැන විමර්ශන බලතල තියෙන්නේ පොලිසියට.
ජාතික ළමාරක්ෂක සභාපතිවරයා විසින් අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට මෙවන් විමර්ශනයක් කරන්න කියලා නියෝග දුන්නාම ඒ විමර්ශනය සිදුකරන්න කලින් ඒ සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගෙන් අනුමැතියක් ගන්න වෙනවා. ඒකට මගේ පෞද්ගලික කැමැත්තක් නැහැ.
ජාතික ළමාරක්ෂක අධිකාරියට පනතෙන් තියෙන බලතල අනුව තවත් ආයතනයකින් නැවත අනුමැතිය ගැනීම නිසා විමර්ශන ප්‍රමාද වෙන්න පුළුවන්. අපට ඕන කුමක් හෝ ආයතනයකින් ඉක්මනින් විමර්ශනයක් සිදුකිරීමයි.
ඒ නිසා මගේ අදහස නම් ප්‍රාදේශීය පොලිසියකින් මෙවන් විමර්ශනයක් හරියාකාරව සිදුනොවන්නේ නම් ප්‍රමාද නම් ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විමර්ශනයක් සිදුකරල ඒ පළාතට ගිහින් ප්‍රකාශ සටහන් කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හොඳම ක්‍රමයක් බවයි.
එහෙම නැත්නම් රහස් පොලිසිය වගේ ආයතනයකට ඒ විමර්ශන භාර දීලා ඉක්මනින් නිසියාකාර විමර්ශනයක් සිදුකිරීමයි. මේ දරුවන් අතුරුදන් වීම ගැන කෙරෙන ප්‍රාදේශීය පොලිසියේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ.
ඒ නිසා තමයි මම පොලිස්පතිතුමා ලිඛිතව දැනුවත් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරලා විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා.”සභාපතිවරයා කියන්නේය.
කෙසේ වෙතත් ආයතන පැත්තෙන් පරීක්ෂණ මෙලෙස සිදුකරද්දී කාන්තා හා ළමා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මතද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම දරුවන්ගේ අතුරුදන්වීම ගැන කොටදෙණියාව පොලිසියෙන්ද වාර්තාවක් කැඳවා තිබේ.
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුවද පැමිණිලිකාර දීපානි සමහර අවස්ථාවල ප්‍රකාශ කරන පරස්පර අදහස් විමර්ශනවලටද බාධාවක් වී තිබේ.
ඇය වරෙක පවසන්නේ දරු දෙදෙනා නොවැම්බර් 21 වැනිදා අතුරුදන් වූ බවය. එහෙත් දීපානිගේ පැවිදිව සිටින දෙවැනි දරුවා පවසන්නේ 22 වැනිදා තමාද බාඳුරාගොඩ නිවෙසේ සිටි බවත් 23 වැනිදා තමා කුරුණෑගල විහාරස්ථානයට වැඩිය පසුව දරුවන් අතුරුදන්ව ඇති බවය.
මෙවන් පරස්පර ප්‍රකාශ නිසා කොටදෙණියාව පොලිසියේ සැකය වී ඇත්තේ දරුවන් රැඳී සිටින ස්ථානය හෝ දරුවන් සඟවා ඇති ස්ථානය දීපානිගේ පාර්ශ්වය දැනුවත්ව ඇති බවය.
මෙලෙස පැවැති සැකමුසු තත්ත්වයන් තවදුරටත් අවුලවමින් දේදුනුගේ මව වන දීපානි ඉකුත් දින මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයත් සමඟ අතුරුදන් වූ දරුවන් සිටින ස්ථානය ඇය දන්නා බවටද ඉඟි පළවිණි. “අදයි හෙටයි විතරක් ඉවසගෙන ඉන්න කිව්වා. දරුවෝ ලැබේවි.”
ඇය මාධ්‍ය හමුවේ කියන්නීය. ඇය පවසන්නේ ඇගේ දරුවා නාගයකුට එකතුව සිටිනා බවය.
“පොලිසිය ඇවිත් දරුවෝ හෙව්වා. දිවුලපිටිය පැත්තත් බැලුවා. එහාට ගිහින් නැහැ. මෙතැනදි තමයි වෙලා තියෙන්නේ. දරුවන් හිර කරගෙනයි ඉන්නේ. වැඩි අෑතක නැහැ. ළඟම ඉන්නවා. ඒත් අපිට එතැනට යන්න බැහැ. නැතිවුණු දා ඉඳලා දේවාල සිය ගණනකට විතර ගියා.
දරුවන් ගැන ඉක්මනින් තොරතුරක් ලැබෙයි කියනවා. පොලිසිය මේ පැත්තේ සී.සී.ටී.වී. බැලුවා. ඒත් දරුවෝ හම්බවුණේ නැහැ. දරුවෝ ඉන්නවා. ඒත් එතැනට යන්න බැහැ. පොලිසියේ හතර දෙනෙක් ගියොත් ඒ අය හොයන්න තව දෙන්නෙක් යන්න වෙනවා.
ඒ අයට වෙච්ච දෙයක් නැතිව යනවා. මේක ඇස් බැන්දුමක්. ළමයි ළඟ පාතම ඉන්නවා. දවස් දෙකක් විතරක් ඉවසගෙන ඉන්න කියලා දේවාලයෙන් කිව්වා. මම දේවාලය හදනවට විරුද්ධ කවුරුහරි මිනී අළු ඉහලා. දේවාලයකට ගියාම මා ලව්වාම පුහුලක් කප්පලා දරුවන් යවලා තියෙන්නේ.
මෙතැන පහන තියන්නෙත් මගේ දරුවා. මෙතැනට නාගයෙක් එනවා. මගේ දරුවා තමයි එන නාගයා නාවන්නෙත්. මගේ පුතා නාගයාට එකමුතුයි. ඔක්කොම කරන්නේ මගේ පුතා. ඒක ඔක්කොම දන්නවා.
මේක දේවාලය දාගන්න හැදුවට තරහට කළ දෙයක්.” දීපානි තම අතුරුදන් වූ දරුවා ගැන එලෙස පවසන්නීය. ඒ නිසා පොලිසියේ තවත් සැකයක් වනුයේ දරුවන් රැඳී සිටින ස්ථානය ඇය දන්නා බවය.
දීපානි තම අතුරුදන් වූ දරුවා ගැන එලෙස පවසන්නීය. ඒ නිසා පොලිසියේ තවත් සැකයක් වනුයේ දරුවන් රැඳී සිටින ස්ථානය ඇය දන්නා බවය.
කෙසේ වෙතත් ඇය කියන පරිදි දරුවන් නැවත ඒමට තව දින දෙකක් පමණ ගතවන කාලය මේ වන විට ගෙවී අවසන්ය. ඇය දේවාලය ගැන, දෙවියන් ගැන, නාගරාජයා ගැන විශ්වාසය තබාගෙන සිටියත් ජාතික ළමාරක්ෂක අධිකාරිය, කොටදෙණියාව පොලිසිය හා ළමා හා කාන්තා කාර්යාංශය දරුවන් සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටිති. දරුවන් දෙදෙනා අතුරුදන්ව දින විසිහයකි.
ඒත් දරුවන් සොයාගැනීමට දෙවියන්ට හෝ පොලිසියට මෙතෙක් හැකියාව නොලැබී ඇති සැටියෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |